IMF දෙනවට වඩා විදෙස්ගත ශ්‍රමිකයින් සල්ලි එවලා - ඒත් ශ්‍රමිකයින්ට තාමත් කුඩම්මාගේ සැලකිලි

IMF දෙනවට වඩා විදෙස්ගත ශ්‍රමිකයින් සල්ලි එවලා - ඒත් ශ්‍රමිකයින්ට තාමත් කුඩම්මාගේ සැලකිලි

2024 වසරේ මුල් මාස 07 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.71 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය ජූලි මාසයේ දී පමණක් මෙලස ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 566.8 ක් විය.

මෙලෙස 2024 මුල් මාස 07 තුළ ලද ප්‍රේෂණ වටිනාකම පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති ඩොලර් බිලියන 3.36 ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 10.3% ක ඉහළ යාමක් බව අනාවරණය වේ.

ශ්‍රී ලංකාව 2022 වසරේ දී මුහුණ දුන් දැවැන්ත විදේශ විනිමය අර්බුදයත් සමඟම ඊට විසඳුම් සෙවීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනකට අවතීර්ණ වූ අතර එහිදී සිව්වසරක කාලයක් පුරාවට මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 3කට ආසන්න මුදලකි..

ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඉතා දැවැන්ත දායකත්වයක් ලැබී ඇති බව මේ අනුව පැහැදිලි වනු ඇත.

අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින්‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ“ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා හර්ෂණී රාජපක්ෂ මහත්මිය මෙසේ කියා සිටියි.

“මේ රට මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පවතින එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රදානය කියලයි වගකිව යුතු බොහෝ දෙනෙක් කියන්නෙ. ඒත් පැහැදිලිවම කියන්නට ඇත්තේ ඒ මුදලටත් වඩා වැඩි මුදලක් අපේ විදේශගත ශ්‍රමික ප්‍රජාව පවුල් ප්‍රේෂණ විදිහට මේ රටට එවලා තියෙනවා කියන එක මහබැංකුවේ මේ සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වෙනවා. ඒත් ඉතාම කනගාටු දායක කරුණ නම් රටේ පාලකයින් විදෙස්ගත ශ්‍රමිකයින්ට සලකන්නේ ඒ අයගේ පවුල් වලට මහන මැෂින් ටිකක්, හාල් ටිකක්, මොන මොනවා හරි සහන ටිකක් විතරක් දුන්නම ඒ අයගේ දායකත්වය තව තවත් ලබාගන්න පුළුවන් කියලයි. ඒත් මේ ශ්‍රමිකයින්ට ‘ශ්‍රමිකයින්“ ලෙස ඔවුන්ට හිමි අයිතිවාසිකම් ලබාදෙන්නට මොවුන් උනන්දු වෙන පාටක් පේන්න නෑ. රටේ තීරණාත්මක මැතිවරණ වලදී ඡන්දය ප්‍රකාශ කරන්නට ක්‍රමවේදයක් ඔවුන්ට නෑ. ඔවුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා රාජ්‍ය ආයතනවල ඔවුන්ගේ නියෝජනයක් නෑ. ඔවුන්ගේ ගැටලු මගහරවා ගන්නට නිසි ක්‍රම වේද සකසා නෑ. මේක ඉතාමත් කනගාටු දායක තත්ත්වයක්. ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය‘(VOM) ලෙස අප පාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සංක්‍රමණිකයින්ගේ ගැටලුවලට පැලැස්තර විසඳුම් ලබාදීම වෙනුවට ස්ථිරසාර විසඳුමක් සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි“.