විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය සැලසීම මගේ අරමුණයි - කෝෂල වික්‍රමසිංහ

විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය සැලසීම මගේ අරමුණයි - කෝෂල වික්‍රමසිංහ

වසර ගණනාවක් විදේශ රටවල සේවය කළ අයෙකු වශයෙන් විදේශ ගත ශ්‍රමිකයින් පිළිබඳව සොයාබලන ආයතනයකට නායකත්වය ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත්, තමන්ගේ මූලික අරමුණ විගමණික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය සැලසීම බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා (2024.10.09) දින නව සභාපති වශයෙන් රාජකාරි කාර්යාංශයේදී භාරගත් අතර, අද දින කාර්යාංශයේ නිළධාරීන් අමතමින් මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා,

“කලක් තිස්සේ පැවති නිළධාරී හා දේශපාලන ක්‍රමවේදය වෙනස් කරගන්න කියලා 2022 පැවති අරගලයෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම්වල ප්‍රතිඵලයක් විදිහට මේ ක්‍රමවේදය වෙනස් කරන්න ආරම්භයක් අරන් නව ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා. ජනතා ඡන්දයෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට ගිහින් තමන්ගේ හිතවතුන් පෝෂණය කරන ක්‍රමවේදය වෙනස් කරන්න ජනතාව කටයුතු කලා. ඒ කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද මමත් ඔබේ සභාපති විදිහට පත්වෙලා ඉන්නේ.

මමත් 2002 වර්ෂයේ ඉංජිනේරුවෙක් විදිහට රැකියාවට සෞදි අරාබියට ගියා. එදා සිට ඩුබායි, බහරේන් යන රටවල ඉංජිනේරුවෙක් හා කළමනාකරුවෙක් විදිහට සේවය කළා. ඒ අතරතුරත් මම උපරිම උත්සහ කළා මගේ යටතේ ශ්‍රි ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදෙන්න. මම රැකියා සම්මුඛ පරීක්ෂණ වලටත් විවිධ රටවලට ගියා. ඒ අවස්ථාවලත් අපි අවංක උත්සහයන් ගත්තා ශ්‍රි ලාංකිකයින්ට ලෝකය විවෘත කරන්න.

මිනිස්සුන්ට, සමාජයට සේවය කිරිම තමන්ටම කරන සේවයක් විදිහටයි මම දකින්නේ. විදේශ රටවල ගොඩක් දුක්විඳින ශ්‍රමිකයො ඉන්නවා. විශේෂයෙන් සෞදි අරාබිය කියන්නේ අපි දකින්න අමාරු නීති පද්ධතියක් තියෙන රටක්. ලංකාවේ ශ්‍රමිකයෝ වැඩි වශයෙන් ඉන්නේ සෞදි අරාබියේ. විශේෂයෙන් ගෘහ සේවිකාවෝ හා කම්කරුවෝ. ඇතැම් ශ්‍රමිකයෝ වතුර බෝතලයයි, රොටී 5යි අරගෙන සති ගණන් බැටළුවෝ බලාගන්න යනවා. බොහොම අඩු වැටුපකට මේ රැකියාවන් කරන්න ලංකාවේ පුද්ගලයෝ යොමුවෙන්නේ.

එවැනි අත්දැකීම් තියෙන, අවබෝධයක් තියෙන කෙනෙක් විදිහට විගමණික ශ්‍රමිකයින්ගේ වගකීම මට බාරදුන්න එක සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටයි, අගමැතිතුමියටයි මම ස්තූතිවන්ත වෙනවා. අපේ රටේ මානව සම්පත දියුණු කරන්න, රටේ දරිද්‍රතාවය නැතිකරන්න දිවි හිමියෙන් මම කැපවෙනවා. පහල ආර්ථික මට්ටමක් තියෙන දරිද්‍රතාවයෙන් පෙලෙන, අවධානය යොමුවිය යුතු පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් මේ සමාජයේ ඉන්නවා. රටේ දුගී දුප්පත් භාවයේ ගිලී ඉන්න සමාජය නැතිකරන්න මට හොඳ අවස්ථාවක් ඉඩක් විවෘත වෙලා තියෙනවා.

පරණ සම්ප්‍රදායික නිළධාරි ක්‍රමය වෙනස් විය යුතුයි. අති දුෂ්කර කැපවීමෙන් මේ තැනට පත්වුණු ජනාධිපතිතුමාගේ අපේක්ෂාව තමයි මේ රට හදන්න ඕනි කියන එක. මම සම්ප්‍රදායෙන් පිට හිතන කෙනෙක්. ඒ වගේම අවශ්‍ය වෙලාවට සම්ප්‍රදාය රකින්නත් මම සූදානම්. සභාපති, නායකයා කියන දේ ආයතනයකට අවශ්‍යයි. නමුත් මම කැමති නෑ නිළධාරීන් සමග පරතරයක් තියාගන්න.

ශ්‍රමිකයින්ගේ සුභසාධනය හා රැකියා සුරක්ෂිතබාවය තමයි මගේ මූලික අරමුණ. විදේශ රටවලදී බොහෝ පුද්ගලයින් අසරණ වෙනවා. විශේෂයෙන් කාන්තාවන්. තමන්ගේ දුක කියාගන්න පවුලේ ඥාතියෙක් හිතමිතුරෙක් නෑ. ඒ අතර, ඔවුන්ගේ ලංකාවේ ගෙවල් දරුවන් අසරණ වෙනවා. තමන්ගේ මව ලග නැතිව. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි සමාජීය වශයෙන් විශාල ගැටළු රැසකට ලංකාව පත්වෙලා තියෙනවා. අපි කටයුතු කළ යුතුයි ගෘහ සේවිකාවන් විදේශ ගත නොකර, විධිමත් පුහුණුවක් සහිත පුහුණු ශ්‍රමිකයින් ලෙස පිරිමි පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගතකරන්න.

දැනටමත් ලාභදායී ආයතනයක් මේක. අපි අධිෂ්ඨාන කරගත යුතුයි මේ ආයතනය තවත් වැඩිදියුණු කරන්න. ඉදිරියේදී අපිට රජය මගින් ඉලක්ක ලබාදෙයි. එම ඉලක්ක ජයගන්න අපි කටයුතු කරන්න ඕනි. ඒ වගේම ආයතනයේ නිළධාරීන්ට යහපත් රැකියා පරිසරයක් ඇතිකරන ගමන් සමාජයට යහපත් දෙයක් කරන්න අපි කටයුතු කරන්න ඕනි. ඒ සඳහා සියළුම දෙනාගේ සහයෝගය මම අපේක්ෂා කරනවා. ” යනුවෙන් ප්‍රකාශ කළේය.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන කෝෂල වික්‍රමසිංහ මහතා වසර ගණනාවක් විදේශ රටවල ඉංජිනේරුවරයෙකු හා කළමනාකරුවෙකු වශයෙන් සේවය කර තිබේ. ඒ මහතා අවසන් වරට කොළඹ නැව් තටාංගනයේ සේවය කර ඇති අතර, එම ආයතනය දියුණු කිරීම සඳහා නව අදහස් හා සැලසුම් තුළින් විශාල මෙහෙයක් ඉටුකර තිබේ.