
සංක්‍රමණය යනු ගෞරවය, ආරක්ෂාව සහ යහපත් අනාගතයක් සඳහා වූ මානව අභිලාෂයේ ප්‍රකාශනයකි. එය සමාජ ව්‍යුහයේ කොටසකි යම් රටක ජාතිකත්වය නොදරන පුද්ගයෙකු ස්ථිරව පදිංචි වීමේ අරමුණින් එම රටට ගමන් කිරීම සංක්‍රමණය නම් වේ. සංචාරකයන් වැනි කෙටි කාලීනව වෙනත් රටක ජීවත්වන පුද්ගලයින් සංක්‍රමණිකයන් ලෙස නොසැළකේ. එහෙත්, ඇතැම් විට කෙටි කාලීන රැකියා සඳහා විදේශගත වන පුද්ගලයන්ද සංක්‍රමණිකයන් ලෙස හැඳින්වෙයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් “සංක්‍රමණිකයින් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය“ හා ලොව පුරා සාකච්ඡාවට ලක්ව පවතින සරණාගතයන් ලෙස විවිධ රටවලට සංක්‍රමණය වන සරණාගතයින් සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදි.
සරණාතයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන අත්දැකීම් ඇති අතර ඒ හේතුවෙන් ගැටළු රැසකට මුහුණ දීමට ද සිදුවිය. ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ගැටළුව ප්‍රධාන කරුණු තුනක් මත වර්ධනය විය. ඒ අතර ප්‍රධාන වන්නේ සිවිල් යුද්ධයයි. උතුරු - නැගෙනහිර පළාත්වල දශක තුනකට අධික කාලයක් පුරා පැවැති සිවිල් ගැටුම් හේතුවෙන් එම පළාත්වල ජීවත් වූ දෙමළ ජනතාවට ඉන්දියාවට සහ බටහිර රටවලට සංක්‍රමණය විය. ඒ අතර යාපනයේ ජීවත් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව ද වෙනත් පළාත්වලට සංක්‍රමණය විය. එසේම පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ද සාම්ප්‍රදායිකව රැකියා සහ උසස් ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් සිදු වූ ඉතා ඉහළ සංක්‍රමණික අනුපාතයක් වාර්තා විය. මේ ආකාරයෙන් මෙරටින් එළියට සිදු වුණ හෝ අභ්‍යන්තරිකව සිදු වුණ සංක්‍රමණයට අමතරව මියන්මාරය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ආදි අසල්වැසි රටවල සිදු වුණ දේශපාලන හා වාර්ගික අර්බුද හේතුවෙන් මෙරට තුළට ද සැලකිය යුතු සංක්‍රමණිකයින් පිරිසක් පැමිණ ඇත.
නීතිමය පසුබිම
සරණාගතයින් සම්බන්ධ කටයුතු කරන ජාත්‍යන්තර නීතිය වන්නේ 1951 සරණාගත සම්මුතිය හෝ 1951 ජූලි 28 දින ජිනීවා සම්මුතිය ලෙස ද හැඳින්වෙන සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳ සම්මුතිය යි. සරණාගතයෙකු යනු කවුරුන්ද යන්න නිර්වචනය කරන සහ සරණාගතභාවය ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ සරණාගතභාවය ලබා දෙන ජාතීන්ගේ වගකීම් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ බහුපාර්ශ්වික ගිවිසුම මෙයයි. නමුත් ශ්‍රී ලංකාව මේ දක්වා මෙම ගිවිසුමට අත්සන් තබා නැති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ කොටස්කාර රාජ්‍යයක් නොවේ.
ශ්‍රී ලංකාවේ මෙම ගිවිසුමේ හවුකාර රාජ්‍යයක් නොවුණ ද ශ්‍රී ලංකාවට සරණාගතයින් සම්බන්ධ වගකීමෙන් හා වගවීමෙන් මිදීමට හැකියාවක් නොමැති බව නීතිවේදීන්ගේ මතය යි.
මෙහිදී එම කතිකාව වැඩසටහන මෙහෙය වූ නීතිඥ ගයත්‍රී නවරත්න පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ජිනීවා සම්මුතියට අත්සන් තබා නොමැති වුව ද තවත් ගිවිසුම් කිහිපයක් හරහා ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන පුද්ගලයින්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගකීමට යටත්වන බවයි.
සරණාතයින් සම්බන්ධ නීතියක් හා රාජ්‍ය ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි - මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු
සරණාතයින් සම්බන්ධයෙන් සිදුවන ඕනෑම සාකච්ඡාවකදී ලංකාවෙන් විදේශවලට සිදු වන සංක්‍රමණය හෙවත් සරණාගතයින් කේන්ද්‍රිය කරුණක් වුව ද ශ්‍රී ලංකාව තුළ ද ‘අභ්‍යන්තරිකව අවතැන්වූවන්‘ සැලකිය යුතු පිරිසක් ජීවත් වෙති. ඔවුන්ගෙන් අති බහුතරය සිවිල් ගැටුම් හේතුවෙන් අවතැන් වූවන් වන අතර විවිධ ස්වභාවික උවදුරු හේතුවෙන් අවතැන්වූවෝ ද රටේ විවිධ පළාත්වල ජීවත් වෙති. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ද දැඩි අවධානයකට ලක්වන්නේ සිවිල් ගැටුම් හේතුවෙන් රට හැර ගිය හෝ පළා ගිය පුද්ගලයින් හෙවත් සරණාගතයින් හේතුවෙනි. 80-90 දශකවල සැලකිය යුතු දෙමළ පුරවැසියන් පිරිසක් දකුණු ඉන්දියාවට ද තවත් විශාල පිරිසක් බටහිර රාජ්‍යයන් වෙත ද සංක්‍රමණය වූහ. මෙම යුගයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට විදේශ රටවල සරණාගතභාවය ලබා ගැනීම අපහසු නොවීම ද විශේෂත්වයකි.
“ශ්‍රී ලංකා ආණ්ඩුව සතුව මෙසේ සංක්‍රමණය වූ දෙමළ ජනතාව සම්බන්ධයෙන් පිළිගත හැකි සංඛ්‍යා ලේඛන නැහැ. නමුත් මිලියනයකට ආසන්න පිරිසක් ලංකාවෙන් සංක්‍රමණය වූ බවට පිළිගත හැකි සාක්ෂි තිබෙනවා. ඒ අතරේ ලක්ෂයකට අධික පිරිසක් ඉන්දියාවේ සරණාගතයින් ලෙස ජීවත් වන බවත් ගණන් බලා තිබෙනවා“ රුකී ප්‍රනාන්දු සඳහන් කළේය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ දෙමළ ජනතාව පමණක් නොව සිංහල සහ මුස්ලිම් ජනතාව ද සංක්‍රමණය වූවන් අතර සිටින බවයි.
සිවිල් යුද්ධයට සමගාමීව රට තුළ දියත් වූ රාජ්‍ය මර්ධනය හේතුවෙන් ජනමාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් ද සැලකිය යුතු පිරිසක් මෙරටින් සංක්‍රමණය වූ බව පෙන්වා දුන් රුකී වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ජවිපෙ ප්‍රබලයින් සහ ක්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක් ද සංක්‍රමණය වූවන් අතර සිටින බව පෙන්වා දුන්නේ ය. “ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ එසේ සංක්‍රමණය වූවෙක්‘ රුකී සිහිපත් කළේය.
යුද්ධය, රාජ්‍ය මර්ධනය සහ ආර්ථිකමය ගැටලු හේතුවෙන් මෙරටින් සංක්‍රමණය වූ සැලකිය යුතු පිරිසක් එම තත්ත්වය සමහන් වූ පසු පසුගිය කාලයේ යළි මෙරටට පැමිණි බව ද රුකී ප්‍රනාන්දු සඳහන් කළේය.
මෙහිදී ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට සංක්‍රමණය වූවන්ගේ වත්මන් තත්ත්වය ගැන සිය අත්දැකීම් පැහැදිලි කරමින් රුකී සඳහන් කළේ ආසන්න යුගයේ දී සංක්‍රමණය වූවන් සැලකිය යුතු ගැටලුවලට මුහුණ දෙන බවත් ඇතැමුන් සරණාගත කඳවුරුවල රැකවරණය ලබමින් සිටින බවත් ය.
“මේ සරණාගතයින් සම්බන්ධ මේ තත්ත්වය රටින් රටට වෙනස් වෙනවා. ඇතැමුන් සරණාගත කඳවුරුවල වගේම ඔවුන්ට ලබා දුන් නිවාසවලත් ජීවත් වෙනවා. නමුත් තවත් පිරිසකට නිසි කෑම වේලක් පවා නොමැති තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් හුදකලාව, තනිකම වැනි මානසික ගැටලුවලින් පීඩාවට පත්ව සිටිනවා“
මෙහිදී රුකී පෙන්වා දුන්නේ මෙසේ සරණාගතභාවය පවා විදේශ රටවලට සංක්‍රමණය වූවන්ගෙන් සැලකිය යුතු පිරිසක් ‘ජීවිතයේ මුල්ම වතාවට‘ විදේශගත වූවන් වන බවයි. මෙම තත්ත්වය ද ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්කිරීමට හේතුවී ඇති බව රුකී පෙන්වා දුන්නේ ය.
“හැම තැනම තත්ත්වය සමාන නොවූවත් ඇතැම් පවුල් බොහෝ පීඩාවන්ට පත්ව සිටිනවා. මම දන්න පවුලක මව සහ පියා ද ඇතුළු දරුවන් සිවු දෙනාම ජීවත් වෙන්නේ එක කාමරයක. නමුත් ඔවුන් සදාකාලිකව මේ තත්ත්වයෙන් ජීවත් වෙන්නේ නැහැ. කාලයත් සමග ඔවුන්ගේ තත්ත්වය බොහෝ විට යහපත් වෙනවා. ස්ථාවරත්වයට පත් වෙනවා“ යැයි සඳහන් කළ රුකී මිනිසුන් මේ ආකාරයේ දුක් විඳගෙන හෝ සරණාගතභාවය ඉල්ලා සිටීමට බලපෑ හේතු පැහැදිලි කළේය.
“අමිහිරි වුණත් මේක ඇත්ත කතාව. ඒත් ප්‍රශ්නය තමයි, ඇයි මේ මිනිස්සු මේ ආකාරයට දුක් ගැහැට විඳිමින් සරණාගතයින් ලෙස ජීවත් වෙන්නේ. ඔවුන්ට තමන්ගේ මාතෘ භූමිය තුළ ගෞරවයකින් යුතුව ජීවත් වෙන්න පුළුවන් නම් මේ දේවල් වෙන්නේ නැහැ“
ගැටලුවේ වෙනත් මුහුණුවර
සරණාතයින් මුහුණ දෙන අර්බුද මෙතැනින් නිමාවට පත් නොවේ. යුද්ධය, දේශපාලන රැකවරණය හෝ රාජ්‍ය මර්ධනයට බියෙන් සරණාගතයින් ලෙස රටින් පිටවීමේ මාර්ගය තෝරා ගත්තෝ බොහෝ අවස්ථාවන් ද අහිමිකර ගැනීම හෝ අත්හැරීම කරති. ඔවුන්ගේ ඉඩකඩම් හෝ දේපොළ බොහෝ විට පැහැර ගැනීමට හෝ අත්පත්කර ගැනීමට ලක්වන අතර මේ තත්ත්වය ඔවුන් තව දුරටත් මව්බිම ගැන සිතීමට ඇති අවකාශය සීමා කරයි.
“වසර ගණනාවක් විදේශ රටක ජීවත් වෙලා යළි මව්බිමට පැමිණ ජීවිතය ආරම්භ කිරීම දුෂ්කර තත්ත්වයක්. විදේශ රටවල ලැබූ අධ්‍යාපනයට මෙහිදී වටිනාකමක් නොමැති වීම වැනි සුලභ තත්ත්වයන්ට මුහුණ දීමට යළි මව්බිමට පැමිණි පුද්ගලයින්ට සිදු වෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල මෙවැනි පුද්ගලයින්ට යළි මව්බිමට පැමිණි සිට ‘දඩයකට‘ යටත් වීමට සිදු වෙනවා. විදේශගතව සිටි කාලය අනුව ඇතැම් පුද්ගලයින්ට ඩොලර් 10,000ක් වාගේ ගණනක් ගෙවීමට පවා සිදු වන අවස්ථා තිබෙනවා“ සරණාගතභාවයේ තවත් අඳුරු පැතිකඩක් රුකී විසින් පෙන්වා දුන්නේ ය.
මෙවැනි සංකීර්ණතා රැසක් පවතින තත්ත්වයක් තුළ මෙම ගැටලුව විසඳා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් ඉතා වැදගත් වේ. යළි මව්බිමට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන පුරවැසියන් විධිමත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් මඟින් යළි මෙරටට කැඳවා ගත හැකිය. රුකී පෙන්වා දුන් ආකාරයට නේපාලයේ ද යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිසක් ජීවත් වෙති.
“තත්ත්වය අපි හිතනවාට වඩා තවත් සංකීර්ණ වන අවස්ථා කිහිපයක් තිබෙනවා. ආණ්ඩු මාරු වුණාට යළි මව්බිමට පැමිණීමට නො හැකි හේතු ගණනාවක් සරණාතයින්ට තිබෙනවා. විශේෂයෙන් ආණ්ඩු මාරු වුණත් තමන්ගේ ජීවිතයට ඇති තර්ජන අවසන් නොවී ම නිසා තවත් සැලකිය යුතු පිරිසක් ලංකාවට නො පැමිණ විදේශගතව ජීවත් වෙනවා. ඒ අනුව යළි මව්බිමට පැමිණෙන පුරවැසියන්ට ජීවිත ආරක්ෂාව ගැන සහතිකයක් ලබා දීමත් ඉතා ම වැදගත් වෙනවා.
මෙරටට පැමිණෙන සරණාගතයෝ
එක්සත් ජාතීන්ගේ සාරණාගතයින් පිළිබඳ කොමිෂමට අනුව ලෝකය පුරා සාරණාගභාවයට පත් පුද්ගලයින් මිලියන 40ක් පමණ වාසය කරති. මෙවැනි පසුබිමක් තුළ සරණාගතභාවය අපේක්ෂාවෙන් මෙරටින් පිටවී යන ශ්‍රී ලාංකික පුරවැසින් තරම් නොවූව ද පසුගිය කාලය පුරා මෙරටට සංක්‍රමණය වූ සරණාගත ප්‍රජාවක් ද සිටිති. මෙරට සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණි මෙම පිරිස සම්බන්ධයෙන් යම් යම් ආන්දොලනාත්මක සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වුව ද එය පුළුල් ලෙස සමාජ අවධානයට ලක්වූ බවක් දැකගත නොහැකිය.
“ලංකාවේ සරණාගතභාවය සහ රැකවරණය අපේක්ෂාවෙන් පැමිණි පුද්ගලයින් මේ වන විට 410 දෙනකු සිටින බව වාර්තා වෙනවා. මිලියන 44ක් පමණ වන ගෝලීය සරණාතගත ප්‍රජාව තුළ ලංකාවේ දායකත්වය ඉතාම අල්ප බව අපට පෙනී යනවා. ඒත් ප්‍රශ්නය වන්නේ මෙතරම් සුළු පිරිසක් ලංකාව තුළ සිටියත් ඔවුනට සරණාගතභාවය ලබාදී නැහැ. ඔවුන් තාවකාලික රැඳවුම්කරුවන් ලෙස තමයි මෙරට රැඳී සිටින්නේ. ඒ වගේම අපි ඔවුන්ව ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන්ට අනුව රැකබලා ගන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි ලංකාවේ සරණාගතයින් සම්බන්ධ නීතියක් නැහැ, ජාතික වශයෙන් ක්‍රියා කරන්න ආයතනයකුත් නැහැ. වත්මන් ආණ්ඩුව හමුවේ පවතින අභියෝගයක් තමයි සරණාගතයින් සම්බන්ධ නීතියක් සම්මත කර ගැනීම. එවැනි නීතියක් සම්මත කර ගත්තොත් අපිට යම්කිසි ආයතනයක් ස්ථාපිත කරමින් සරණාගතයින් සම්බන්ධයෙන් මීට වඩා හොඳින් ක්‍රියාකරන්න පුළුවන්“ වත්මන් ආණ්ඩුව හමුවේ පවතින තවත් අභියෝගයක් / අවස්ථාවක් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රුකී පෙන්වා දුන්නේ ය.
ශ්‍රී ලංකා ආණ්ඩුව 1951 ජූලි 28 දින ජිනීවා සම්මුතියට අත්සන් තබා නැති වුව ද එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ අත්සන් කළ එකඟතාවක් තිබේ. මේ වන විට සරණාතයින් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ මේ එකඟතාවය අනුව ය. මෙම ක්‍රියාවලිය වසර 4-5ක් ගත වන ‘දීර්ඝ ක්‍රියාවලියක්‘
මෙම ක්‍රියාවලියට ලංකාවේ ආණ්ඩුවේ ‘ඍජු‘ මැදිහත් වීමක් නොමැත. සිදුවන්නේ අදාළ පුද්ගලයින්ට ලංකාව තුළ ‘නීත්‍යානුකූලව‘ රැඳී සිටීමට අවස්ථාව ලබාදීම පමණකි.
“ලංකාවේ ඔවුන්ට කියන්නේ ‘නීති විරෝධී සංක්‍රමණිකයින්‘ කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි හැඳින්වීමක්. නීති විරෝධී සංක්‍රමණිකයෙක් කියන්න පුළුවන් අදාළ රටේ වීසා නීති කඩකරමින් රැඳි සිටින පුද්ගලයෙක්ට. නමුත් සරණාතයින් යම්කිසි රටක පැමිණෙන්නේ ජාත්‍යන්තර නීති හෝ ප්‍රඥප්තිවලට අනුකූලව. අදාළ රට බැඳී සිටින නීති හෝ ගිවිසුම්වලට යටත්ව. ඔවුන්ගේ පැමිණීම කිසිසේත් නීති විරෝධී දෙයක් වෙන්නේ නැහැ. ඔවුන් නීත්‍යානුකූලව තමයි පැමිණෙන්නේ. මෙහිදී වැදගත්ම කරුණ තමයි, ලංකාවේ පවතින නීතියට මේ සරණාගතයින් යටත් විය යුතුයි. නීති විරෝධී කිසිවක් කළ නොහැකියි. යම්කිසි අයුරකින් ඔවුන් එවැනි නීති විරෝධී දෙයක් කළොත් අදාළ නීතිවලට යටත් වෙනවා“ සංක්‍රමණිකයින් මුහුණ දෙන තවත් ගැටලුවක් ගැන පැහැදිලි කරමින් රුකී පෙන්වා දුන්නේය. ‘සරණාතයින් කියන්නේ නීතියට ඉහළින් ඉන්න පිරිසක් නොවෙයි‘ රුකී යළි අවධාරණය කළේය.
මහින්ද රාජපක්ෂ ඇතුළු මේ දක්වා බලයයේ සිටි සියලු ජනාධිපතිවරුන් සරණාගතයින්ට ලංකාවේ රැඳී සිටීමට අවස්ථාව ලබාදී තිබේ. නමුත් ශ්‍රී ලංකාව සරණාතයින් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ගැන සතුටු විය නොහැකිය. විශේෂයෙන් සරණාගත ප්‍රජාවේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වැඩපිළිවෙළක් නැත. එය පැහැදිලිවම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය කඩ කිරීමකි. නමුත් සෞඛ්‍ය පහසුකම් ලබාදීම ප්‍රමාණවත් පරිදි සිදුවේ.
“සැබෑ තත්ත්වය මේක වුණත් අපිට වගකීමක් තිබෙන මේ සරණාගතයින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව රැකබලා ගැනීමට. ඒ වගේම ආගමික, සංස්කෘතික හා සමාජයීය වශයෙන් ද අපට මොවුන් නිසි පරිදි රැක බලා ගැනීම සම්බන්ධ වගකීමක් තිබෙනවා.
අවසන් කිරීම
සරණාගතයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නීතිය තුළ වගකීමක් තිබේ. නමුත් දේශීය වශයෙන් නීතියක් නොවීම හේතුවෙන් අදාළ ක්ෂේත්‍රය තුළ හිඩැසක් තිබේ. ඒ අනුව දේශීය නීතියක් හා ඒමත පදනම් වූ රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කර ගැනීම වැදගත්ය. එසේම ආගමික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ද සරණාගතයින් සම්බන්ධ ධනාත්මක වීමට පදනමක් අප සතුව තිබේ.
‘ලංකාවේ ජනතාව ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. ඒත් ඒ ආගන්තුක සත්කාරය නිසි පරිදි ක්‍රියාත්මක විය යුත්තේ සංචාරකයින්, ක්‍රීඩකයින් හෝ නළු නිළියන්, ගායකයින් සම්බන්ධයෙන් පමණක් නොවෙයි, අපේ රැකවරණය, ආරක්ෂාව පතා ගෙන එන, ජීවිත ආරක්ෂාව පතා ගෙන එන සරණාගතයින් සම්බන්ධයෙනුත් එය එසේ වෙන්නේ නම් යහපත් දෙයක්, රුකී අවධාරණය කළේය.
සරණාතයින් වෙනුවෙන් කළ යුතු ප්‍රායෝගික වෙනස්කම් කිහිපයක් ද රුකී නිර්දේශ කළේය. ඒ අනුව සරණාගතයින්ට මෙරට තුළ රැකියාවක් කිරීමට අවස්ථාව ලබාදීම, ඔවුන්ගේ නිවාස සහ ආහාර අයිතිය තහවුරු කිරීම, දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කිරීම ආණ්ඩුව විසින් ඉටුකළ යුතුය.
සංක්‍රමණිකයින් දේශපාලන හා සංස්කෘතික ගැටලු රැසක් නිර්මාණය කළ හැකියි - හිටපු පළාත් සභා මන්ත්‍රී, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිර්මාණය වූ නව ගෝලීය භූ දේශපාලනික රටාව සහ නව ජාතික රාජ්‍යයන් බිහිවීම තුළ අලුතින් සරණාගතයින් බිහිවීම හා සරණාගතයින් ලෙස ජීවත් වූ ඇතැම් ප්‍රජාවන්ට ජාතික රාජ්‍ය බිහිකර ගැනීමට අවස්ථාව ලබාදීම ආදි සංකීර්ණ පරිසරයක් නිර්මාණ වූ අතර එය ගෝලීය සරණාගත ප්‍රජාවක් බිහි වීමට ප්‍රධාන හේතුවක් විය. එසේම කොරියානු යුද්ධය, වියට්නාම් යුද්ධය වැනි ශීතල යුධ සමයේ බල කඳවුරු අතර ඇති වූ යුද්ධ ද නව සරණාගත ප්‍රජාවක් බිහි කළේය. ඊටත් පසු සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඊට අයත්ව තිබූ රටවල ජනතාව බටහිර රටවලට හෝ වෙනත් රටවලට සංක්‍රමණය වීම දිරිමත් කිරීම සඳහා සංක්‍රමණිකයින් සම්බන්ධ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය සිදු වූ බව විශ්වාස කළ හැකිය.
‘සමාජවාදී නැගෙනහිර ජර්මනියේ සිට ධනවාදී බටහිර ජර්මනියට සංක්‍රමණය ධෛර්මත් කිරීමට මේ සරණාගත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණා. කොරියානු යුද්ධයත් මේ මාර්ගයේම ගමන් කළා. මේ යුගයේ ගෝලීය බල තුලනය මෙහෙයවනු ලැබූ තුෂ්ණි යුද්ධය තමයි 1951 දී සරණාතයින් පිළිබද ජිනීවා සම්මුතිය හදන්න මුල් වුණේ. ඒ වගේම 1962 දී මේ සම්මුතියට අදාළ ප්‍රටෝකෝලය ක්‍රියාත්මක වුණා. නමුත් මේ දෙකට ම ශ්‍රී ලංකාව අත්සන් තබා නැහැ. ඒ කියන්නේ ‘බැඳීමක්‘ නැහැ. නීතියක් නැහැ. මේ තත්ත්වය තුළ පසුගිය කාලයේ බොහෝ පිරිසක් සරණාගතයින් සම්බන්ධ දේශීය නීතියක් සම්පාදනය කර ගැනීමට උත්සහ කළා“ නිශාන්ත සරණාතයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුහුණ දී සිටින වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් ප්‍රකාශ කළේය.
මෙහිදී ඔහු පෙන්වා දුන්නේ සරණාතයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගිවිසුම්වලට අත්සන් තබා නැති වුව ද ශ්‍රී ලංකාව ‘චාරිත්‍රානුකූල‘ බැඳීමකට අනුව කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා සරණාතයින් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ ‘එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්“ කාර්යාලය සමඟ බව පෙන්වා දුන් නිශාන්ත 2005 දී, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී මෙය ආරම්භ වූ බව ද සිහිපත් කළේ ය.
“ලංකාව පමණක් නොවෙයි, ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු කලාපීය රටවල් ගණනාවක් සරණාගතයින් සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුමට අත්සන් තබා නැහැ“ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පෙන්වා දුන්නේය.
ඓතිහාසික ප්‍රවණතා
ශ්‍රී ලංකා භූමියෙන් සැලකිය යුතු තරම් විශාල වුව ද දූපත් රාජ්‍යයකි. ඓතිහාසිකව ම ශ්‍රී ලංකාව ආරක්ෂව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇත. එසේම දේශීය සංස්කෘතික වටිනාකම්, සමාජ හර පද්ධති සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වේ. එහෙත් ශ්‍රී ලංකාවට සංක්‍රමණික ගැටලුව අලුත් දෙයක් නොවේ. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට ආක්‍රමණිකයින්, සරණාගතයින්, සංක්‍රමණිකයින් සහ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ වතුකරයේ රැකියා සොයා ලක්ෂ සංඛ්‍යාත ඉන්දිය ජාතිකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. මොවුන් අතර වතුකරයේ සේවට ගෙන ආ ඉන්දීය ජාතිකයින් ප්‍රමුඛය. මේ හරහා ඍණාත්මක හා ධනාත්මක බලපෑම් ද එල්ල වී තිබේ. එහෙත් බොහෝ සංක්‍රමණිකයින් පසුව මහා සංස්කෘතිය තුළට අවශෝෂණ වූ අතර ඇතැම් පිරිස් දමිළ සංස්කෘතිය තුළට අවශෝෂණය වී තිබේ. මෙම නිදහස් අවශෝෂණය හේතුවෙන් අතීතයේ දී සැලකිය යුතු ගැටලුවක් නිර්මාණය නොවීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දෙන සංක්‍රමණිකයින් සම්බන්ධ ප්‍රශ්න අප විසින් නිර්මාණය කළ ඒවා නොවන අතර යම් යම් ෙඑතිහාසික සන්දර්භයන් තුළ මෙම ගැටලුව නිර්මාණය වී තිබේ.
“අතීතයේ මෙවැනි තත්ත්වයක් තිබුණ ද වර්තමානයේ පවතින්නේ සංකීර්ණ තත්ත්වයක්. ඒ නිසා අපි වත්මන් සංක්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි. වත්මන් ගෝලීය හා භූ දේශපාලනික වාතාවරණය හමුවේ මානුෂිකවාදී දෘෂ්ටියකින් මේ ගැටලුව දෙස බලන්න අපට පුළුවන්කමක් තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. පසුගිය කාලය තුළ මෙරට බලයේ සිටි යම් යම් ආණ්ඩු විසින් ගත් තීන්දු - තීරණ හේතුවෙන් යම් යම් ජන කොටස් ලංකාව අතහැර ගොස් තිබෙනවා. විශේෂයෙන් මෙරට වාසය කළ බර්ගර් ජනතාවගෙන් බහුතර පිරිසක් ලංකාව අතහැර ගියා. එසේම අභ්‍යන්තර සිවිල් යුද්ධයකට සහ සන්නද්ධ කැරලි දෙකකට අපි මුහුණ දුන්නා. මෙහිදී කැරලිකරුවන් වගේම ඔවුන්ගේ හා රාජ්‍ය මර්ධනයට බියෙනුත් විශාල පිරිසක් ලංකාව අතහැර වෙනත් රටවලට සංක්‍රමණය වුණා, විශේෂයෙන් බටහිර රටවලට සංක්‍රමණය වුණා, දේශපාලන රැකවරණය ලබා ගත්තා” නිශාන්ත තම අදහස ව දුරටත් පැහැදිලි කරමින් සඳහන් කරන ලදී..
ආධිපත්‍ය රටවල් විසින් යම් යම් රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සරණාගතභාවය සම්බන්ධ ගැටලු භාවිතා කරන බවට නිශාන්ත මෙහිදී චෝදනා කළේය. ලංකාවේ ජනවාර්ගික අර්බුදයට ඉන්දියාව මැදිහත් වූයේ සරණාගත ප්‍රශ්නය දඩමීමා කරගෙන ය. “ සරණාගත ප්‍රශ්නය සිංහල ජනතාවට පමණක් බලපෑ ප්‍රශ්නයක් නොවෙයි. දෙමළ සහ මුස්ලිම් ජනතාවත් මේ ගැටලුවට මුහුණ දී තිබෙනවා” නිශාන්ත කීවේය.
ගෝලීය කර්මාන්තයක්
සරණාගතභාවය පිළිබඳ ප්‍රශ්නය වර්තමානය වන විට ගෝලීය කර්මාන්තයක් බවට පත්ව ඇතැයි නිශාන්ත මෙහිදී පෙන්වා දුන්නේය.
“මේක චෝදනාවක් නොවෙයි. නමුත් අපිට එවැනි තත්ත්වයක් දැක ගන්න පුළුවන්’ ඔහු යළි අවධාරණය කළේය.
පසුගිය ආසන්න කාලයේ පාකිස්ථාන සරණාගතයින්ගේ පැමිණීම සම්බන්ධ සිය අදහස පැහැදිලි කළ නිශාන්ත මෙහිදී වර්ධනය විය හැකි ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධ පැහැදිලි කළේය. ඔහු මෙහිදී පෙන්වා දුන්නේ සරණාගතයින්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ මවුබිමේ විවිධ සංවිධාන හා පුද්ගලයින් හරහා අනපේක්ෂිත ගැටළු නිර්මාණය විය හැකි බවයි.
‘සංක්‍රමණිකයින්ගේ ආරක්ෂාව හා රැකවරණය හරහා මතුවන මෙවැනි බලවේග ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික හා සමාජයීය සහජීවනයට ගැටලු නිර්මාණය කළ හැකියි. ඒ හරහා අපි අසීරුවෙන් පවත්වා ගෙන යන ජාතික හා ආගමික සහජීවනය අර්බුදයට ලක්විය හැකියි. එසේම මේ හරහා නිර්මාණය විය හැකි සංස්කෘතිකමය ගැටළු සහ අභියෝග ගැන අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි” නිශාන්ත දැඩිව අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සාරණාගතයින් පිළිබඳ කොමිෂමට අනුව ලෝකය පුරා සාරණාගභාවයට පත් පුද්ගලයින් මිලියන 40ක් පමණ වාසය කරති. මෙවැනි පසුබිමක් තුළ සරණාගතභාවය අපේක්ෂාවෙන් මෙරටින් පිටවී යන ශ්‍රී ලාංකික පුරවැසින් තරම් නොවූව ද පසුගිය කාලය පුරා මෙරටට සංක්‍රමණය වූ සරණාගත ප්‍රජාවක් ද සිටිති. මෙරට සරණාගතභාවය අපේක්ෂාවෙන් පැමිණි මෙම පිරිස සම්බන්ධයෙන් යම් යම් ආන්දොලනාත්මක සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වුව ද එය පුළුල් ලෙස සමාජ අවධානයට ලක්වූ බවක් දැකගත නොහැකිය.
සරණාගතයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර නීතිය තුළ වගකීමක් තිබේ. නමුත් දේශීය වශයෙන් නීතියක් නොවීම හේතුවෙන් අදාළ ක්ෂේත්‍රය තුළ හිඩැසක් තිබේ. ඒ අනුව දේශීය නීතියක් හා ඒමත පදනම් වූ රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කර ගැනීම වැදගත්ය.
| සටහන - තුෂාල් විතානගේ