තැනැත්තන් වෙළෙඳාම අධීක්ෂණය කිරීමේ හා වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සංවිධානාත්මක අපරාධයන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNTOC) සහ එහි අතුරු බලගැන්වීමේ ව්‍යවස්ථාවක් වන තැනැත්තන් වෙළෙඳාම නිවාරණය, පිටුදැකීම සහ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම (විශේෂයෙන් කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව සිදු කරනු ලබන එකී අපරාධ සම්බන්ධයෙන්) බලගැන්වීම සඳහා වන පැලමෝර් ප්‍රොටෝකෝලය (Palermo Protocol) ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා අපරානුමත කරනු ලැබ තිබේ.
ඒ අනුව, තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීම සඳහා සක්‍රීයව දායක වන හා උනන්දුවක් දක්වන ආයතන සම්බන්ධීකරණය කිරීම සඳහා තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය 2010 වර්ෂයේදී ස්ථාපිත කර ඇත. එකී කාර්යසාධක බලකාය නිශ්චිත කාල සීමාවන් සඳහා සකස් කරනු ලැබූ ක්‍රියාකාරී සැලසුම්වලට අනුකූලව ක්‍රියාත්මක වී ඇති අතර, 2021-2025 දක්වා වන කාලය සඳහා වූ අවසන් ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මේ කාලය 2025-12-31 දිනෙන් අවසන් වී තිබේ.
එබැවින්, එකී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කර, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාව සහ දැනුම්වත්භාවය සහිතව, නිරාවරණය, ආරක්ෂා කිරීම, නඩු කටයුතු මෙහෙයවීම් (පැමිණිලි කිරීම) සහ හවුල්කාරිත්වය යන සිව් ආකාර ප්‍රවේශයන්ගෙන් සමන්විතව 2026-2030 කාලපරිච්ඡේදය සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරනු ලැබ ඇත. එකී ජාතික උපයාමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

