වංචනික විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් ඩුබායි රුමේනියා සහ මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා සදහා පුද්ගලයන් බදවාගත් කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් 2026.02.03 දින අත්අඩංගුවට ගෙන තිබේ.
කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයකට ලද තොරතුරක් මත මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක AHM International Services නමින් පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ විදේශ රැකියා ඒජන්සිය වැටලීම් කරන ලදී . එහිදී මෙම ආයතනය පවත්වාගෙන යනු ලැබූ උඩමුල්ල ප්‍රදේශයේ පදිංචි පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර, ඇය සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 154, රැකියා ගිවිසුම්, වෛද්‍ය වාර්තා හා ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍ර, විවිධ පුද්ගල ජීවදත්ත තොරතුරු ඇතුළත් ලිපිගොනු ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.
මෙම කාන්තාව මීට පෙර 2016 වර්ශයේදී කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගෙන රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට එරෙහිව කාර්යාංශයට ලැබී ඇති පැමිණිලි අනුව නඩු එකොළහක් පවරා ඇති බැවින් බලපත්‍රය අත්හිටුවා ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එසේම මෙම කාන්තාවට විරුද්ධව මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර ඇත.
ඉහත සැකකාර කාන්තාව 2026/02/04 දින කොළඹ අලුත් කඩේ අංක පහ දරන මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මෙම වැටලීම මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් බාලසූරිය, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී වන්නිආරච්චි යන නිළධාරීන් සහභාගී විය.

