විදේශ රැකියා වංචාකාරිය සීදූවේදී කොටු කර ගනියි

විදේශ රැකියා වංචාකාරිය සීදූවේදී කොටු කර ගනියි

විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වංචාකළ අඹු සැමි යුවළක් සීදූව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්  (2026.02.10) දින අත්අඩංගුවට ගෙන තිබේ.

Rainbow Nexus නමින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව වංචනික විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවක් විසින් රුපියල් ලක්ෂ 40ක් වංචා කර ඇති බවට කාර්යාංශයට ලද පැමිණිලි 12ක් අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අදාළ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් මෙහෙයවන ලදී. එහිදී විමර්ශන නිළධාරීන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා වර්ෂයක කාලයක් තුළ කිහිපවරක් උත්සහ කළද ඇය විමර්ශන නිළධාරීන්ගෙන් සැගවී සිට තිබේ.

ඒ අතරතුර ඇය සීදූව ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් අනුව කාර්යාංශයේ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මෙහෙයවන ලද අතර, ඒ අනුව සීදූව ප්‍රදේශයේදී අද දින එම සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඇයට මෙම වංචනික ක්‍රියාව සඳහා සහාය වූ සැමියාද විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අදාළ ස්ථානයේ තිබී විදේශ රැකියා ලබාදෙන බවට ගිවිසුම් 200ක්, වෛද්‍ය මධ්‍යස්ථානවලට යොමුකරන ලිපි, X Ray වාර්තා 300ක් පමණ, ප්‍රචාරන පත්‍රිකා රැසක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.

වැඩිදුර විමර්ශනවලදී සීදුව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත්, ඇය වංචා කර ඇති මුදල රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් බවත් අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  (02/11) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැටලීම විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී අමිතා කුමාරි, ශ්‍රීනිකා කරුණාරත්න යන නිළධාරීන් සහභාගී විය.