ඕමානයේ අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සිය රට ගෙන්වයි

ඕමානයේ අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සිය රට ගෙන්වයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සමග එක්ව, එරට අතර මං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකු 2021 අපේ‍්‍රල් 01 වන දින මස්කට් හි සිට කොළඹ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් යළි මව්බිමට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පිළියෙළ කර තිබිණි. මෙම පිරිස අතරට, වීසා බලපත්‍ර කල් ඉකුත් වීමෙන් පසු ඕමාන් සුල්තාන් රාජ්‍යයේ නැවතී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 45 දෙනකු පමණ ඇතුළත් වූහ. එමෙන්ම, රැකියා අහිමිව තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ නවාතැන් ගෙන සිටි පිරිසක් සහ බන්ධනාගාරවලින් නිදහස් වූ සහ හදිසි වෛද්‍ය අවශ්‍යතා යටතේ සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් පිරිසක්ද එලෙස ගෙන්වා ගැණුනු අනෙක් පිරිස අතර වූහ.

ශ්‍රී ලාංකික අසරණ සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ දඬුවම්වලින් මෙන්ම දඩ මුදල්වලින් සම්පූර්ණයෙන් නිදහස් කර, ඕමානයේ සිට පිටත්ව යාම පිණිස, ඕමාන් රජය මගින් පොදු සමාවක් පිරි නමනු ලැබිණි. මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතින් ඔවුන්ට ආපසු සිය රට බලා යාමට අවශ්‍ය ගමන් ලේඛන නොමිලේ ලබා දෙන ලදී. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා අසරණ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් ඔවුන්ගේ දඬුවම්/දඩ මුදල්වලින් නිදහස් කර, පොදු සමා කාලය 2021 ජුනි 30 වැනිදා දක්වා දීර්ඝ කරමින් ආපසු සිය රට බලා පැමිණීම සඳහා කරන ලද නොමසුරු පරිත්‍යාගය වෙනුවෙන්, ඕමාන් රාජ්‍යයේ සුල්තාන් හයිතම් බින් තාරික් රජය වෙත සිය කෘතඥතාව පළ කළේය. තානාපති කාර්යාලය මේ වන විට ශ්‍රී ලංකාවේ අසරණ වූ සංක්‍රමණික කම්කරුවන් 425 ක් පමණ නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සලසා දී තිබේ.

මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 කින් යුත් පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ පැවැත් වූ අතර, ඔවුන් සියලු දෙනාටම රජය මඟින් නවාතැන්, ආහාර සහ අනෙකුත් පහසුකම් සහිතව දින 14 ක නිරෝධායන පහසුකම් නොමිලේ සැපයීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මස්කට්