ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

පසුගිය වසරේ සිදු වූ රිය අනතුරකින් ඩුබායි හි සිටින ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩුබායි අධිකරණය විසින් ඩිරාම් මිලියනයක හෙවත් ලංකා මුදලින් රුපියල් මිලියන 54ක පමණ වන්දි මුදලක් පිරිනමන ලදී.

අනතුර හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින 45 හැවිරිදි තරංග දිල්රුක්ෂි පැවසුවේ වසරක කාලයක් පැවති නඩු විභාගයකින් පසු ශ්‍රී ලංකා රුපියල් මිලියන 54 ක් පමණ වන වන්දි මුදලක් තමාට ගෙවන ලෙස නියෝග කරමන් අධිකරණ තීන්දුව ලැබුණු බවයි.

අනතුර ගැන සිහිපත් කරමින් දිල්රුක්ෂි පැවසුවේ පසුගිය වසරේ මැයි 24 දා බර් ඩුබායි පොලිස් ස්ථානය අසල සීබ්රා හරස් මාර්ගයකදී මෙම අනතුර සිදු වූ බවයි. “මම පාර හරහා ගමන් කරමින් සිටියදී ඉන්දියානු ජාතිකයෙකු පැදවූ කාරයක මා අනතුරට ලක් කළා. රථවාහන අධිකරණය රියැදුරාට එරෙහිව තීන්දුවක් ලබා දුන් අතර ඔහුට ඩිරාම් 5000 ක දඩයක් නියම කළා‘‘

වෑන් රථයේ රියදුරුට එරෙහිව නඩු පැවරීමට ඇයට උදව් කළේ  YAB Legal Group නීති නියෝජිත සලාම් පපිනිස්සේරි ය. ඔහු පැවසුවේ, “අනතුරේදී දිල්රුක්ෂි බරපතල තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වුණා. ඇය දැන් රෝද පුටුවකට සීමා වී සිටිනවා. අන් අයගේ සහයෝගය නොමැතිව ඇයට කිසිවක් කළ නොහැකියි. ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඇයට රැකියාවකට ගොස් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි වුණා. අනතුරු නඩුව සඳහා වන්දි ලබා ගැනීම සඳහා ඇය මා වෙත පැමිණියා. තත්වයේ බරපතලකම තේරුම් ගැනීමෙන් පසු මම ඇයගේ තත්වයට උදව් කිරීමට තීරණය කළා ”

දිල්රුක්ෂි පැමිණෙන්නේ ලංකාවේ අඩු ආදායම්ලාභී පවුලකිනි. ඩුබායි හි ප්‍රතිකාර ලැබූ රෝහලේ වෛද්‍ය වාර්තා වලට අනුව ඇයට ජීවිත කාලය පුරාම ආධාර සහ ඖෂධ අවශ්‍ය වේ. “ඇයට හැම විටම සහයට කෙනෙක් අවශ්‍යයි. ඇයට වෛද්‍ය ආධාර අවශ්‍යයි. ඇගේ මනස එතරම් පැහැදිලි නැහැ. සිතුවිලි වල පැහැදිලි බවක් නැහැ. එවැනි තත්වයන් යටතේ ඇයට ජීවිත කාලය පුරාම සහයෝගය අවශ්‍ය වනු ඇති,”පපිනිස්සේරි පැවසීය.

පපිනිස්සේරිගේ උපදෙස් පරිදි දිල්රුක්ෂි ඩුබායි උසාවියේ සිවිල් නඩුවක් ගොනු කළාය. “රථවාහන අනතුරු වන්දි නඩුව රක්‍ෂණ සමාගමට සහ අනතුර සිදු කළ රියදුරුට එරෙහිව ය. නීතීඥ යූනුස් මොහොමඩ් අල් බ්ලූෂි, අධිනීතිඥ මොහොමඩ් ඉබ්රාහිම් අල් සුවෙයිදි සහ අධිනීතිඥ රුකියා අල් හෂිමි යන අය වෛද්‍ය වාර්තාව, අධිකරණ වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් අදාළ ලියකියවිලි ඇතුළු ප්‍රබල සාක්ෂි සහිතව උසාවියේ නඩුව ගොනු කළහ.

ඩුබායි උසාවිය මෙම නඩුව පිළිගත් අතර වින්දිතයාගේ නීතිඥයින් විසින් ගොනු කරන ලද ලිපි ලේඛන තහවුරු කර ගත් අතර අවසානයේ දිල්රුක්ෂිට පක්ෂව තීන්දුව ලබා දීමට පෙර දෙපාර්ශවයේම තර්ක විතර්ක ඇසූ බව පපිනිස්සේරි පැවසීය. දිල්රුක්ෂිගේ නීතීඥයින් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාව සහ තුවාල තක්සේරු කිරීම මත පදනම්ව අධිකරණය විසින් වන්දි වශයෙන් ඩිරාම් මිලියනය බැගින් ප්‍රදානය කරන ලදී.

1995 වර්ෂය සඳහා වූ රථවාහන හා හදිසි නීතිය පිළිබඳ 26 වන වගන්තිය අනුව වින්දිතයාට වන්දි ගෙවිය යුතු බවත් නීතිඥ ගාස්තු රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු බවත් පපිනිස්සේරි පැවසීය.

දිල්රුක්ෂි දැන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මෙම යුවළට වයස අවුරුදු 15 සහ 14 යන පාසල් යන දරුවන් දෙදෙනෙක් සිටිති.

ඩේලි මිරර් වෙබ් අඩවියේ වාර්තාවක් ඇසුරිනි