ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් ගෙන්වා ගන්න විදෙස් සහය පතයි

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් ගෙන්වා ගන්න විදෙස් සහය පතයි

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හමුවේ එහි සිටින ශ්‍රී ලාංකිකයන් 20 දෙනකු ඉවත් කර ගැනීමට සහාය දෙන්නැයි මෙරට විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල්වලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී මෙම සහය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 46 දෙනකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර  ශ්‍රී ලාංකිකයන් තව  විසි දෙනකු ආපසු පැමිණීමේ අපේක්ෂාවෙන් සිටී, ඔවුන් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත.

මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බවත් , ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මූලික අවධානය,යොමු කරමින් අදාළ රටවල තානාපතිවරුන්ගෙන් මෙම ඉල්ලීම කළ බවද අමාත්‍යාංශය කියයි.

මේ අතර,තවත් ශ්‍රී ලාංකිකයන් විසි  දෙනකු ඇෆ්ගනිස්ථානයේම තවදුරටත් රැඳී සිටීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි එම අමාත්‍යාංශය පෙන්වා දේ.

මේ අතර තලේබාන් සංවිධානය  කිසිදු විදේශිකයකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට දිගටම ගෞරව කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය සතුටින් සඳහන් කරයි.

ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැනු ළමයින්ට පාසල් යා හැකි බවට තලේබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වන බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

රට ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්‍ෂික යාන්ත්‍රණයක් ස්ථාපිත කරන බවට තලේබාන් සංවිධානය කළ ප්‍රකාශය පිළිබඳව ද ශ්‍රී ලංකා රජය අවධානය යොමු කරන බවත් ,එරට නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාව ආරක්‍ෂා කරන්නැයි ද ශ්‍රී ලංකා රජය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.