විදෙස් කාර්යාංශයේ සේවය කරමින් දිනකට ලක්ෂ 50ක් හොරා කෑ කටුනායක 16 දෙනා ඉවතට

විදෙස් කාර්යාංශයේ සේවය කරමින් දිනකට ලක්ෂ 50ක් හොරා කෑ කටුනායක 16 දෙනා ඉවතට

කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහසය දෙනකු දූෂණ චෝදනා මත එහි සේවයෙන් ඉවත් කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසකට මෙම නිලධාරීන් ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින් මැදපෙරදිග රටවලට යවා ඇතැයි එම කාර්යාංශය නිලධාරියෙක් පැවසුවේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් ලෙසට ව්‍යාජ සහතිකයක් ලබාදීම සඳහා මෙම නිලධාරීන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාගන්නා බවද මේ ආකාරයට ලියාපදිංචිය නොලත් පනස් දෙනකුට පමණ දිනකට හොර රහසේ ගුවන්ගත වීමට අවස්ථාව ලබා දෙන බවද ඉහත ප්‍රකාශකයා පැවසුවේය. ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක් පමණ උපයා ගන්නා මෙම නිලධාරීන් එම මුදල විදෙස් රැකියා නියෝජ්‍ය ආයතන සමග බෙදා ගන්නා බවද හෙතෙම කීවේය.

කොවිඩ් වසංගතය පැවැතියත් ඇතැම් මැදපෙරදිග රටවලට මේ දිනවල ශ්‍රමිකයන් යවන බව කී ඉහත ප්‍රකාශකයා එසේ පිටව යන අයටද මෙම නිලධාරීන් කාර්යාංශයේ ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස ලබා දී ඇතැයි කීය.

මේ සම්බන්ධයෙන් අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතාගෙන්ද විමසීමක් කළෙමු.

අදාළ වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් කලක සිට තමන් වෙත පැමිණිලි ලැබී තිබූ බව කී හෙතෙම බුද්ධි නිලධාරීන් යොදා ගනිමින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත් බවද පැවසුවේය.

කිසිවකුට නොදැනෙන ලෙස රහසිගතව තමන් මෙම නිලධාරීන් පිළිබඳ සොයා බලා ඉහත චෝදනා සත්‍ය බව තහවුරු කරගත් බවද සභාපතිවරයා කියයි.

(අරුණ)