රට පනින්න ගිහින් කුණාටුවකට හසුවෙලා - 55ක් බේරා ගැනෙයි

රට පනින්න ගිහින් කුණාටුවකට හසුවෙලා - 55ක් බේරා ගැනෙයි

නීති විරෝධී ලෙස මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වෙමින් සිටියදී, හම්බන්තොට සිට නාවික සැතපුම් 390 ක් පමණ ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේදී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයන් 55 ක් මුදාගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි.

එම පිරිස හම්බන්තොට වරායට අද (12) රැගෙන ආ බවත්, ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පාවෙමින් තිබෙන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම් දීමකට අනුව එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව නාවික හමුදාව නිවේදනය කරයි.

එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාවේ පරාක්‍රමබාහු නෞකාව ආපදාවට පත් ධීවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශය වෙත සෙවීම් සහ මුදවාගැනීමේ මෙහෙයුමක් සඳහා පිටත් කළ බවත්, ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පැවති අධීක රළු ස්වභාවය හමුවේ ඉතා අවදානම් ලෙස පාවෙමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවේ සිටි ජාවාරම්කරුවන් 05 දෙනෙකු සමඟ පිරිමි පුද්ගලයන් 46 ක්, කාන්තාවන් 3 ක් සහ ළමයින් 6 ක් ඇතුළු පුද්ගලයන් 55 ක් නිරුපද්‍රිතව බේරාගත් බවත් නාවික හමුදාව පවසයි.

මෙම අනවසර සංක්‍රමණය සඳහා යොදාගත් ධීවර යාත්‍රාව ගැඹුරු මුහුදේදී කුණාටුවකට යාත්‍රාවේ බඳට සිදුවූ අලාභහානි හේතුවෙන් මුහුදු ජලය යාත්‍රාව තුළට කාන්දුවී යාත්‍රාව ගිලීයාමේ අවදානමට ලක්ව තිබූ බවත්, දින කිහිපයක් ගැඹුරු මුහුදේ අතරමංව ආහාර සහ ජලය හිඟවීමෙන් එහි සිටි පුද්ගලයන් කිහිපදෙනෙක් මුදවා ගන්නා අවස්ථාව වන විට අසාධ්‍ය තත්වයෙන් පසුවූ බවත් නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන්ට පරාක්‍රමබාහු නෞකාව තුළදී අවශ්‍ය ප්‍රථමාධාර හා අනෙකුත් පහසුකම් ලබාදෙමින් හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව කී නාවික හමුදාව ආපදාවට ලක්වූ බහුදින ධීවර යාත්‍රාව තුළට අධික ලෙස මුහුදු ජලය කාන්දු වීම හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව අතහැර දැමූ බව ද සඳහන් කළේය.

නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 3 ත් 54 ත් අතර වයසේ පසුවන මෙම පිරිස ත්‍රීකුණාමලය, මන්නාරම, වව්නියාව, කිලිනොචිචිය, මුලතිව්, යාපනය සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගනා ගත් බවත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලිසිය වෙත භාරදීමට නියමිත බවත් නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.