ලාංකිකයින් 62ක් කුවේටයෙන් පිටුවහල් කරයි

ලාංකිකයින් 62ක් කුවේටයෙන් පිටුවහල් කරයි
කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක - සේවිකාවන් 62 දෙනෙකු, කුවේටයෙන් පිටුවහල් කර එරට ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ යළි මෙරටට එවා තිබේ.
 
එම පිරිස අද අලුයම 05.00 ට කුවේට් රාජ්‍යයේ සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.-9555 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කරයි.
 
ඔවුන් අතරින් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා ගෘහ සේවකයින්ය.
 
එම පිරිස, තමන් ගෘහ සේවය සදහා ගිවිසුම්ගතව සිටි නිවෙස්වලින් පලාගොස් කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැඳී සිටිමින්, කුවේට් ඩිනාර් 250 ක් වැනි මාසික වැටුපක් සඳහා විවිධ රැකියා ස්ථානවල සේවයේ නිරත වෙමින්, නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.
 
ඔවුන්, විවිධ අසනීප තත්වයන්, ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ පවුල් වල මතු වී ඇති ගැටළු, වයස්ගත වීම වැනි හේතු මත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යයාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.
 
කුවේට් පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සමග එක්ව මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කළ ශ්‍රී ලංකා තානාපති කාර්යයාලය, ඔවුන්ට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර මෙලෙස එරටින් පිටුවහල් කර එවා තිබේ.
 
මේ ආකාරයට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මේ වනවිට 2,000 කට අධික ශ්‍රී ලාංකික ගෘහ සේවක - සේවිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටින බව තානාපති කාර්යයාලයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය..
 

පසුගිය 11 වනදා ද, මේ ආකාරයෙන් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු දිවයිනට එවා තිබුණි..