විදෙස් ශ්‍රමිකයින් වාර්ෂිකව ඩොලර් බිලියන 8ක් රට රැකියා මගින් උපයනවා

විදෙස් ශ්‍රමිකයින් වාර්ෂිකව ඩොලර් බිලියන 8ක් රට රැකියා මගින් උපයනවා

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන අමාත්‍යාංශ අතර විදේශ රැකියා සම්බන්ධ තමන්ගේ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් බිලියන 8ක විදේශ විනිමය ලැබෙන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය අඩුකර ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් නිෂ්පාදන අපනයනය, සංචාරක කර්මාන්තය මෙන්ම විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කිරීම ද තවදුරටත් වර්ධනය කළ යුතුය. ඒ අනුව ඉදිරියේදී ජපානයේ, රුමේනියාව, ඊශ්‍රයලය වැනි රටවල රැකියා සඳහා තම අමාත්‍යාංශය හරහා විශාල පිරිසකට පිටත්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශ කළේය. ප්‍රියංකර ජයරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය 29 වන දින පල්ලම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති විදේශ රැකියා බළකායක් පිහිටුවීමේ ජාතික වැඩපිළිවෙළේ එක් අවස්ථාවකට එක්වෙමිනි. මෙදින පල්ලම, ආණමඩුව, මහකුඹුක්කඩවල, නවගත්තේගම, කරුවලගස්වැව, පුත්තලම වනාතවිල්ලුව, කල්පිටිය ප්‍රදේශවල විදේශ රැකියා බලකායන් පිහිටුවීම සිදුකෙරිණ.

ඊශ්‍රායල් රජයේ සාත්තු සේවිකා රැකියා සඳහා 2000ක පිරිසක් ද, දකුණු කොරියාවේ රැකියා සඳහා 5200 පමණ පිරිසක් ද ලබන වර්ෂයේ දී පිටත් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන් ජපානයේ රැකියා සඳහා ජපන් භාෂාව අත්‍යාවශ්‍ය බැවින් ජපන් භාෂාව පුහුණු කිරීමේ මාස තුනේ කඩිනම් පාඨමාලා ආරම්භ කිරීමට තමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන් බව ද සඳහන් කළේය. ඒ අනුව එම පාඨමාලා දැනටමත් ආරම්භ කර ඇති බැවින් විදේශ රැකියා බලකාය හරහා ඒ සඳහා තරුණ තරුණියන්ට ඇතුළුවීමට අවස්ථාව ලැබෙන බවද සඳහන් කළේය. විදේශ රැකියා වෙළඳපලට ඇතුලත්වීමට තරුණ තරුණියන්ට අවශ්‍ය විදේශ භාෂා දැනුම ඉදිරියේදී ලබාදෙන අතර රජය මැදිහත්වී රටට ලබාගන්නා රැකියා අවස්ථාවන් සඳහා විදේශ රැකියා බලකායන් හරහා තරුණ තරුණියන් බඳවාගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් අවධාරණය කරනලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සභාපති කමල් රත්වත්තේ මහතා, අධ්‍යක්ෂක පරිපාලන නිමල් තිබ්බුටුමුනුව මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

වැඩබිම