රුමේනියා රැකියා පෙන්වා ලක්ෂ 83ක් වංචාකරලා

රුමේනියා රැකියා පෙන්වා ලක්ෂ 83ක් වංචාකරලා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.08.16 දින අත්අඩංගුවට ගෙන තිබේ.

රාජගිරිය, කලපලුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් මොහොමඩ් නවස්දීන් නැමැති සැකකරු  රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා රු.813,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම පුද්ගලයා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පැමිණිල්ලට අමතරව සැකකරුට විරුද්ධව පැමිණිලි 9ක්  කාර්යාංශය වෙත ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාලව ඔහු වංචාකර ඇති මුදල රු.8,390,000.00 කි. 

අත්අඩංගුවට ගත් සැකකරු 2023.08.16 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලදී. වැඩිදුර නඩු විභාගය 2024 මාර්තු මස 11 දින කැඳවීමට නියමිතය.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් වන එම්.කේ.සුමනවීර, රවීන්ද්‍ර අබේපාල, සරත් විමලවීර, ශ්‍රීනිකා කරුණාරත්න යන නිළධාරීන් එක්වී සිටියහ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසත්, විදේශ රැකියා වංචාවන් පිළිබඳව 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා දැනුම් දෙන ලෙසත් කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.