“අල්පෙනිති ගසා මට වධ දුන්නා ” (PHOTO)

“අල්පෙනිති ගසා මට වධ දුන්නා ” (PHOTO)

සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය කාන්තාවකට එරටදී ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා ඇති බව සඳහන් කරමින් ඇයගේ සැමියා වන නාගරාජන් අජිත්කුමාර් අද (ජූලි 16) දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙලෙස වද හිංසාවට ලක්ව ඇත්තේ, ආගරපතන පොලිස් වසමට අයත් තලවකැළේ, ලිඳුල, ගැනිගල් වත්තේ, හෙන්ෆෝල්ඩ් වත්තේ, පදිංචි වී. සිවරංජනී නමැති 30 හැවිරිදි එක්දරු මවකි.

තම නිවසේ පවතින දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ඉකුත් මස 17 වන දා කොළඹ ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා එජන්සියක් මාර්ගයෙන් තම බිරිඳ සෞදි අරාබියේ ගෘහ සේවයට යැවූ බව ත්, එහිදී එම රටේ භාෂාව නොදැන සිටීම හේතුවෙන් තම බිරිඳට එම නිවසේ හිමිකාර කාන්තාව අවස්ථා කිහිපයකදී පහර දී, අල්පෙනිති කටු ගසා දැඩි ලෙස වදහිංසාවට ලක් කර ඇති බව ත් ඇයගේ සැමියා පැවසීය.

ඇයට පහර දී ශරීරයේ අත්ල, කලවා ප්‍රදේශයට මෙන් ම තව ත් ප්‍රදේශවලට දරුණු ලෙස පහර දී වදහිංසා ලබා දෙන බවට බිරිඳ තමන්ට දුරකතනය ඔස්සේ දැනුම් දුන් පසු ඇයව ගෘහ සේවයට යැවූ විදේශ රැකියා ඒජන්සිය වෙත කිහිප වරක් දැනුම් දීමෙන් අනතුරුව ඇය මෙරටට ගෙන්වා ගැනීමට රු. ලක්ෂ 10ක මුදලක් එම ඒජන්සියේ හිමිකරුවන් තමන්ගෙන් ඉල්ලු බව ත් ඔහු සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වී. සිවරංජනී පැවසුවේ, “ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා තමයි මම සෞදි අරාබියේ රැකියාවට ගියේ. සෞදි ආරබියේ රියාත් නගරයේ ගෙදරක තමයි මම වැඩ කළේ. ගිය දවසේ ම මට ගොඩක් වැඩ දුන්නා කරන්න. ඊට පසුදින මට ඉනිමගක් දීලා උඩ නැගලා නිවස සුද්ද කරන්න කිව්වා.

මම වැඩ කරනකොට ඉනිමග ලිස්සලා මම වැටිලා ඔළුව වැදුණා, මට අමාරු වුණා. ඊට පස්සේ පැයක් විවේක අරන් වැඩ කරන්න කිව්වා. මම අමාරුවෙන් වැඩ කළා. මට දිගට ම හිරිහැර වුණා.

මට කිව්වා අවුරුදු තුනක් මොනවා වුණත් අපි ගාව වැඩ කරනවා කියලා ලියුමක් ලියලා දෙන්න කියලා. ඊට පස්සේ මට ගෙදරට කතා කරන්න කෝල් එකක් අරන් දුන්නා.

ගෙදරින් මට කිව්වා එහෙම ලිවුම් වලට අත්සන් කරන්න එපා කියලා. පස්සේ මගේ මහත්තයා මාව ගෘහ සේවයට යවපු එජන්සියට ගිහින් කිව්වා මාව ආපහු ලංකාවට ගෙනල්ලා දෙන්න කියලා.

ඒ අය රු ලක්ෂ 10ක් ඉල්ලලා තිබුණා. අපි ගාව එච්චර සල්ලි නෑ. මහත්තයා ගුවන් ටිකට්පත් සදහා ලක්ෂ දෙකක් දෙන්න කිව්වා. ඒකට මහත්තයට එජන්සියෙන් බැනලා තිබුණා.

දවසක් මම නාලා එනකොට ගෙදර අයිතිකාර ගැහැණු කෙනා මාව අල්ලගෙන අල්පෙනිති ඇන්නා. ඊට පස්සේ මම එයා එක්ක රණ්ඩු වුණත් මට පොර බදන්න ශක්තියක් තිබුණේ නෑ, මට සිහිය නැති වුණා.

පහුවදා මට සිහිය එනකොට මගේ ඇඟ ම වේදනාවක් ආවා. පස්සේ මම ඒ ගැන ලංකාවෙන් ගෘහ සේවයට ගිහින් ඉන්න අපේ ඥාතියෙකුට කිව්වා.

එයා අරාබි භාෂාවෙන් ගෙදර ගැහැණු කෙනාට කතා කරලා කිව්වා මම ඔයගොල්ලොන්ගේ ගෙදර වැඩට එන්නම් නංගිව ලංකාවට යවන්න කියලා.

ඊට පස්සේ මාව ලංකාවේ තනාපති කාර්යාලයට ගෙනල්ලා දැම්මා. තනාපති කාර්යාලයේ හිටපු කෙනෙක් මගේ ඇගේ සැරව ගෙඩියක් තියෙනවා දැකලා, ඒක මිරිකන්න ද ඇහුවා. මම හා කිව්වා. ඒක මිරිකද්දි අල්පෙනිත්තක් එලියට ආවා.

ඊට පස්සේ මගේ ශරිරය පුරා තුවාල තිබුණු නිසා ඊට පහුවදා ම මාව ලංකාවට එව්වා. මම ලංකාවට ඇවිල්ලා නුවරඑළිය මහ රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්න ගියපු වෙලාවේ රෝහලෙන් ඇගේ ඇණලා තිබුණු අල්පෙනිති කටු දෙකක් එලියට ගත්තා.

තවත් කටු කිහිපයක් ඇගේ තියෙනවා කියලා ආයේ දවසක ඇවිල්ලා රෝහල්ගත වෙන්න කිව්වා. අපි හරි දුප්පත්. මෙවැනි ඒජන්සිවලින් රට යන්න එපා, මට වුණ වෙන කාටවත් විය යුතු නෑ, යනුවෙන් පැවසුවා ය.

(mawbima)