වෘත්තීය සමිති නීතිය ගැන ඔබ දැණුවත්ද?මෙන්න විස්තර

වෘත්තීය සමිති නීතිය ගැන ඔබ දැණුවත්ද?මෙන්න විස්තර

01.ගැටළුව: වෘත්තීය සමිති නීතිය යනු කුමක්ද?

පිළිතුර: සේවකයාගේ මනාපය පරිදි වෘත්තීය සමිතියක් පිහිටුවීමට සහ එවැනි සමිතියකට බැඳීමට ඇති අයිතියට සංවිධානය වීමේ අයිතිය යැයි කියනු ලැබේ. එය වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම්වලින් එකකි. එනම් සිය කැමැත්තෙන් සංගම් පිහිටුවාලීම සඳහා සියළු සේවකයින් සතු අයිතිය රටේ නීතියේ කොටසක් යැයි පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය පවා නඩු තීන්දු ලබා දී ඇත.

වෘත්තිය සමිතියක බැඳෙන හෝ වැඩ වර්ජනයකට සහභාගිවෙන ඕනෑම සේවකයෙකු ලඝු නඩු විභාගයකින් පසු සිරගත කරනු ලැබීමේ තත්ත්වයක් වර්ෂ 1800 න් පසු ඇතිකරගත් නීතීන් මඟින් දක්නට ලැබුණි. ක්‍රමයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය දියුණු වී තමන්ගේ බලය සහ අයිතිවාසිකම් දියුණු කර ගැනීම සඳහා දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන්නට විය.

මේ අනුව සේවකයින්ට සංවිධානය වීමට ඇති අයිතියට අදාල විධිවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ  වරින් වර සංශෝධනය වී ඇති 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥාපනතේද දක්වා තිබේ.

02.ගැටළුව: වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීමෙන් ලැබෙන (නෛතික) නීතිමය තත්ත්වය කුමන ආකාරයේද?

පිළිතුර:

යම්කිසි වෙළෙඳ සමාගමක් සමාගම් ආඥා පණත යටතේ ලියාපදිංචි කලවිට ලැබෙන නීතිමය තත්ත්වය වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීමෙන් නොලැබේ. උදාහරණයක් ලෙස වෘත්තීය සමිතියකට සිය සමිතියේ නමින් දේපල තබාගත නොහැකිය. ලියාපදිංචි කල වෘත්තීය සමිතියක නිශ්චල සහ චංචල දේපල වෘත්තීය සමිතියේ හා එහි සාමාජිකයන්ගේ භාවිතය සහ ප්‍රයෝජනය සඳහා එහි භාරකරුවන් වෙත පැවරෙන අතර ඒ භාරකරුවන්ගේ පාලනය යටතේ ඒවා තිබෙන බව වෘත්තීය සමිති පණතේ 42 වගන්තිය ප්‍රකාශ කරයි.යම්කිසි සේවකයෙකු වෘත්තීය සමිතිය යටතේ ඉඩමක් හෝ ගොඩනැඟිල්ලක් මිලට ගැනීම හෝ බද්දට ගැනීම භාරකරුවන්ගේ නමින් විය යුතුය.නමුත් වෘත්තීය සමිතියක් ලියාපදිංචි නමින් නඩු පැවරිය යුතු අතර වෘත්තීය සමිතියේ නමින් ඊට විරුද්ධව ද නඩු පවරනු ලැබිය හැකිය.

වෘත්තීය සමිතියක් පිහිටවන ලද දින සිට තුන් මසක් ඇතුළත එය ලියාපදිංචි කළයුතු අතර එය වෘත්තීය සමිති ආඥා පණතේ 03 වන වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.

03.ගැටළුව:

රජයේ සේවකයින්ගේ වෘත්තීය සමිතිවලට අදාළ විධිවිධාන කවරේද?

පිළිතුර :

1935 දී වෘත්තීය සමිති ආඥා පණත පැනවූ විට එමඟින් රජයේ සේවකයින්ට වෘත්තීය සමිති ලියාපදිංචි කිරීමට ඉඩ සලසා නොතිබුණි. 1947 මහා වැඩවර්ජන, උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පණත 1948 අංක 15 දරණ පණතින් සංශෝධනය වන්නට විය.

මෙම සංශෝධනය මගින් අනිත් සංගම් සමග ඒකාබද්ධවීම, දේශපාලන අරමුණු,දේශපාලන අරමුදල් හා බාහිර නිලධාරීන් සම්බන්ධයෙන් සමහර සීමාකාරී කොන්දේසිවලට යටත්ව සංවිධනනය වීමේ අයිතිය රජයේ සේවකයින්ට ලබා දෙන ලදී.මෙකී සීමාකාරී කොන්දේසි තවදුරටත් ඉවත් කරමින් 1970 දී පණත තවත් සංශෝධයන විය.වර්තමාන තත්ත්වය අනුව සමහර රජයේ සේවකයින්ට සංවිධානය වීමේ අයිතියක් නැත.එනම් අධිකරණ නිලධාරීන්,සන්නද්ධ හමුදාවල සේවකයින්,පොලිස් නිලධාරීන් සහ කෘෂිකර්ම හමුදා ආඥා පණත යටතේ පිහිටුවන ලද ඕනෑම හමුදාවක සාමාජිකයින් අයත් වේ.

නමුත් පහත කොන්දේසිවලට යටත්ව රජයේ අනිකුත් සේවකයින්ට වෘත්තීය සමිති පිහිටුවිය හැකිය.

  • එක් අයෙක් සමිතියේ සභාපති හෝ ලේකම් වශයෙන් පත්කරගත හැකි බාහිර පුද්ගලයින් දෙදෙනෙකු හැර සමිතියේ අනිකුත් සාමාජිකත්වය යම්කිසි අංශයක/ශ්‍රේණියක සේවකයින්ට සීමාවිය යුතුය.
  • සාම නිලධාරීන්ගේ හෝ රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ සමිතිවල අනිකුත් සමිති සමග සම්බන්ධ වීමට හෝ දේශපාලන අරමුදල් පිහිටුවීමට හෝ දේශපාලන අරමුණු ඇතිව සිටීමට ඉඩදෙනු නොලැබේ.

නමුත් ඉහත සීමාකිරීම් සමිතියේ නීතිරීතිවල අඩංගු නොවේ යැයි හෝ සමිතියේ යම් නිලධාරියෙකුගේ දැනුම, අනුමැතිය හෝ වංක සහයෝගය ඇතිව එවැනි සීමාකාරී විධිවිධාන උල්ලංඝණය කර ඇති යන හේතුමත නීතිපතිවරයා විසින් ඉල්ලීමක් දිසා අධිකරණයට සිදුකොට ලියාපදිංචි වෘත්තීය සමිතිය අවලංගු කිරීමට ඉඩ සැලසේ.

04.ගැටළුව:

වෘත්තීය සමිතිය ක්‍රියාකාරීත්වය කොයි ආකාරයක විය යුතුද?

පිළිතුර:  වෘත්තීය සමිතියක් සංවිධානය වීමට ඇති අයිතිය ක්‍රියාවට නැංවීමේදී එකී ක්‍රියාවලියට හිතකර සමහර ලක්ෂණද ඇතුළත් වේ.

ඒවා නම්,එය වෘත්තීය සමිතියක් ලෙස පිළිගැනීමක් සඳහා විධිවිධාන සලසන නීතියක් ශ්‍රී ලංකාවේ නැත.දෙවැන්න සාමූහික කතිකාව (collective bargaining). එනම් වෘත්තීය සමිතියක ප්‍රධාන අරමුණු වලින් එකක් වන්නේ සිය සාමාජිකයින්ට වඩා හොඳ සේවා නියමයන් ලබා ගැනීමට මේ තුළින් උත්සාහ කිරීමයි. මේ අරමුණු ඉටුකර ගැනිම සඳහා සේවායෝජකයින් සමඟ සාකච්ඡාකර නිදහසේ කතිකා කර ගැනීමට හැකිවිය යුතුයි. තෙවනුව වැඩ වර්ජන කටයුතුද කරගෙනයාමයි. එබැවින් එය සංවිධානය වීමේ අයිතියේ වැදගත් අංශයයකි.මෙම අයිතීන් වෘත්තීය සමිතියේ සාමාජිකයින්ට ආඥා පණත මගින් ලබා දී තිබේ.