පොලිසිය විසින් අපරාධ විමර්ශනය සිදුකරන ආකාරය

පොලිසිය විසින් අපරාධ විමර්ශනය සිදුකරන ආකාරය

වැඩබිම නීති පිටුව හරහා අපි අද සාකච්ඡාවට ලක් කරනු ලබන්නේ පොදුවේ ජනතාවට වැදගත් වෙන පොලිසිය විසින් අපරාධ විමර්ශනය සිදුකරන ආකාරය සම්බන්ධවයි.


මෙවැනි සිදුවීම් ඇතැම් විට අප අත්දැක තිබෙන්න පුළුවන්.ඒ වගේම ඉදිරි කාලයේදී කුමන හෝ අවස්ථාවක මෙවැනි සිදුවීම්වලට අපි හෝ අපේ සමීපතමයන් ගොදුරු වෙන්න පුළුවන්..එවැනි අවස්ථාවක මේ තොරතුරු කල් ඇතිව දැනුවත් වී සිටීම මට මෙන්ම ඔබටත් අතිශය ප්‍රයෝජනයක් වෙනු ඇත.

01.ගැටලුව : යම්කිසි අපරාධයක් සිදු වූ විට එකී අපරාධය පිළිබඳ විමර්ශන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?

පිළිතුර:

අපරාධයක් විමර්ශනය කිරීම පොලිසියේ රාජකාරි අතර වඩාත්ම තීරණාත්මක එකකි. යම් අපරාධයක් විමර්ශනය කරන විට අපක්ෂපාතීව නීතියට අනුකූලව හා කඩිනම්ව විමර්ශනය සිදු කළ යුතු වේ. අපරාධ විමර්ශනය මූලික වශයෙන් ආකාර දෙකකට සිදු කරනු ලබයි

01. වැටලීමේ  ස්වභාවයේ විමර්ශන

 02. ප්‍රථම තොරතුරක් මත කරන විමර්ශනය

වැටලීම් කිරීමත් සෑම අපරාධයක් සම්බන්ධයෙන්ම සිදුකළ නොහැකි බවත් නීතිය තුලින් බලය ලබා දෙන අවස්ථාවන්හිදී පමණක් වැටලීම් සිදු කළ හැකි බවයි. උදා  මත්ද්‍රව්‍ය හා මත්පැන් පිළිබඳ වැටලීම්, සොරබඩු භාරගන්නා ස්ථාන පිළිබඳ වැටලීම්, ගණිකා නිවාස පිළිබඳ වැටලීම්

ප්‍රථම තොරතුරු නැතහොත් පොලිස් ස්ථානය වෙත කරනු ලබන පැමිණිල්ලක් පදනම් කරගෙන විමර්ශන කටයුතු සිදු කිරීම බහුලව සිදුවෙන ක්‍රියාවලියකි.

02.ගැටලුව:  පොලීසිය විසින් සිදුකරන අපරාධ විමර්ශන කාර්යභාරය පැහැදිලි කරන්න

පිළිතුර : මෙරට සිදුවන සෑම අපරාධයක් විමර්ශනය කිරීමේ කාර්යය සඳහා නිල වශයෙන් වගකීම උසුලන ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලීසියි. එහිදී අපරාධ පිළිබඳ වාර්තා ගත කිරීම්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, අධිකරණය වෙත අපරාධ විමර්ශනය පිළිබඳ වාර්තා සැපයීම, සුලු අපරාධ නඩු විභාග වැරදි පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම, අපරාධ විමර්ශනයට අදාළ සාක්ෂි එක්රැස් කරගැනීම, සැකකරුවන් හඳුනා ගැනීම පෙරෙට්ටු සංවිධානය කිරීම, වරෙන්තුකරුවන් අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ආදී වගකීම් රාශියක් ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන  කාර්යාංශයට පැවරී තිබේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ  පනතට අනුකූලව රාජකාරි කටයුතු විධිමත්ව කිරීමට අපරාධ විමර්ශන කරන පොලිස් නිලධාරීන් සෑම විටම වග බලා ගත යුතුය. එනම් පොලිසිය වෙත කරනු ලබන පැමිණිලි විමර්ශනය කර පියවර ගත යුතුය. එලෙස පැමිණිල්ල පිළිබඳ විමර්ශනය කරන නිලධාරියා විසින් හෝ ස්ථානාධිපතිවරයා විසින් වාර්තා ගත කළ යුතුය. තවද පොලිස් විමර්ශනයකින් අනතුරුව  මහේස්ත්‍රාත්  අධිකරණයෙ නඩු පැවරීම සඳහා සැකකරුවන් එම වරද කළ බවට සාධාරණ සැකයක් තිබිය යුතුයි.

03.ගැටලුව  : යම් සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී වධහිංසාවන්ට ලක් නොවී සිටීමේ අයිතිය සහ පොලිස් නිලධාරීන්ගේ වගකීම කුමක්ද?

පිළිතුර

අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වී පොලිස් භාරයට පමුණුවයි. එහිදී බොහෝ වෙලාවට පොලිස් නිලධාරීන් විවිධ වධහිංසාවන්ට ලක්කොට සැකකරුවන්ගෙන් තොරතුරු ලබාගත හැකි යැයි සිතයි.

නමුත්  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය අනුව කිසිම තැනැත්තෙකු වද හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය.

එසේ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී පොලු වලින් පහර දීම හම් පටියකින් පහර දීම, මුහුණට මිරිස් කුඩු ගැසීම, පයින් ගැසීම යන ක්‍රියාවන් සිදු කිරීම තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව කඩ වී ඇති බවයි.

 04 .ගැටලුව : යම් සැකකරුවකු හෝ සොර බඩු සොයා පොලිස් නිලධාරියෙකුට යම් ස්ථානයකට ඇතුළුවීමට ස්ථානය පරීක්ෂාකිරීමට ඇති බලතල කවරේද?

 පිළිතුර

යම් අපරාධයකට සම්බන්ධ සාක්ෂි හා සොර බඩු ආදිය සෙවීම පොලිසියේ රාජකාරිමය අනිවාර්ය අංගයකි. එසේ ස්ථානයන්ට ඇතුලුවීම  නීති ප්‍රකාරව සිදුකල යුත්තකි.  නීත්‍යානුකූල නොවන ලෙස ඇතුළුවීම තුළින්  පොලිස් නිලධාරීන්ට පෙරළා ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ.

මෙසේ ස්ථානයක් සෝදිසි කිරීම සඳහා අපරාධ අධිකරණයකින් නිකුත් කරනු ලබන වරෙන්තු ආකාර කිහිපයකි.

  • දේපල පරික්ෂා කිරීමේ සෝදිසි වරෙන්තු
  • පුද්ගලයින් පරීක්ෂාකිරීමට සෝදිසි වරෙන්තු
  • ලේඛන සම්බන්ධ සෝදිසි වරෙන්තු

 මෙකී සෝදිසි වරෙන්තු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත අනුව නිකුත් කළ හැකිය.