පොලිස් නිලධාරීන්ගේ කාර්යය,වගකීම සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකදී ඇති නීතිමය ප්‍රතිකර්ම

පොලිස් නිලධාරීන්ගේ කාර්යය,වගකීම සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකදී ඇති නීතිමය ප්‍රතිකර්ම

01.ගැටළුව:

පොලිස් නිලධාරීන්ට අදාළ යුතුකම් සහ අයිතිවාසිකම් ඇතුළත් වී ඇති නීතිමය රාමුව කෙසේද?

පිළිතුර:

පොලිස් නිලධාරීන්ගේ සේවයට අදාල සියලු යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳව දැක්වෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ 1865 අංක 16 දරණ පොලිස් ආඥා පණතයි.ඊට අමතවර පොලිස් දෙපාර්තමේන්තු චක්‍රලේඛයක් මගින්ද වරින්වර දක්වයි.මෙපමණක් නොව පොලිස් නිලධාරීන්ගේ වගකීම සෘජුවම බැඳී පවතින තවත් නීති රාශියක් පවතියි. එනම් මෝටර් රථ ප්‍රවාහන පණත හා අපරාධ නඩු විධාන සග්‍රංහය පණත මගින්ද දක්වා ඇත.

එසේම  පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාවන්හි නීත්‍යානුකූලභාවය හෝ නීතිවිරෝධීභාවය තීරණය කිරීමේදී මෙම අණපනත්වල දක්වා ඇති නීතිරීති නිවැරදිව සොයා බැලීමේන් අවබෝධ කරගත යුතුයි.

විශේෂයෙන් මහජනතාවට යම් අකටයුත්තක් පොලිස් නිලධාරීන්ගෙන් වූ කල එය කවරාකාර නීතිමය රාමුවක් තුලට වැටෙන්නේද,එසේ නොමැතිව නීතියෙන් ඔබ්බට ගොස් පොලිස් නිලධාරීන් ක්‍රියා කොට ඇත්තේද යන්න තීරණය කළ යුතුය.පොලිස් ආඥා පණතේ 56 වගන්තියට අනුව පොලිස් නිලධාරීන්ගේ කාර්යයභාරය පහත පරිදි වේ.

01.සියලු අපරාධ වැරදි සහ මහජන පීඩා වැළැක්වීමට උපරිම උත්සාහය සහ හැකියාව යෙදීම.

02. සාමය ආරක්ෂා කිරීම.

03.කලහකාරී සහ සැකකටයුතු පුද්ගලයින් අල්ලාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම.

තවද අපරාධ නඩු විධාන සංග්‍රහ පණතේ 22 වන වගන්තිය අනුව සෑම පොලිස් නිලධාරියෙකුම තමාගේ ජේෂ්ඨතම නිලධාරියාට හෝ ළඟම සිටින මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීමට බැඳී සිටිය යුතුයි. එනම්,

01.තමාට ක්‍රියා කිරීමට බලය ඇති ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සීමාව තුල යම් වරදක් සිදු කිරීම හෝ සිදු කිරීමට තැත් කිරීම.

02. ඒ සීමාව තුල යම් හදිසි හෝ අස්වාභාවික මරණයක් හෝ සාහසික අපරාධයක් හෝ සැකකටයුතු යම් මරණයක් සිදුකර ඇති විටක

03. යම් තැනැත්තෙකුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න හෙලිදරව් නොවී ඒ තැනැත්තාගේ මළ සිරුර සොයාගනු ලැබීම.

තවද කිසියම් වරදක් සම්බන්ධව පොලිස් නිලධාරීන් විසින් වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි වැරදි වැළැක්වීමට සෑම පියවරක්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 වගන්තිය අනුව ගතයුතු අතර එවැනි වැරදි සම්බන්ධයෙන් වහාම ආසන්නතම උසස් නිලධාරියාට දැනුම්දිය යුතුය.

02 ගැටළුව :

පොලිස් නිලධාරීන්ගේ ධූරාවලිය නිර්මාණය වී ඇත්තේ කෙසේද?

පිළිතුර:

පොලිස් ආඥා පණතේ 20 වෙනි වගන්තිය අනුව එය නිර්මාණය වී ඇත.ඒ අනුව සමස්ත පොලිස් බලකායේ ප්‍රධානියා පොලිස්පති වෙයි.පොලිස්පති යටතේ පොලිස් අධිකාරිවරු, පරීක්ෂකවරු,සාජන්වරු සහ කොස්තාපල්වරු සේවය කරති.එහි 21 වගන්තියට අනුව නියෝජ්‍ය පොලිස්පති,සහකාර පොලිස් අධිකාරි,උප පොලිස් පරීක්ෂක තනතුරු නිර්මාණය කර ඇත.

මේ අනුව  පොලිස් නිලධාරීන්ගේ තනතුරු ප්‍රමුඛත්වය අනුව පහත සඳහන් පරිදි වේ.

 01.පොලිස්පති

02ජේ‍ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

03.නියෝජ්‍ය පොලිස්පතිවරු

04.ජේෂ්ඨ පොලිස් අධිකාරිවරු

05.සහකාර පොලිස් අධිකාරිවරු

06.පොලිස් පරීක්ෂකවරු

07.සහකාර පොලිස් පරීක්ෂකවරු

08.පොලිස් සාජන්වරු

09.පොලිස් කොස්තාපල්වරු

 

03.ගැටළුව:

පොලිස් නිලධාරීන්ගේ විනය කෙබඳුද?

පිළිතුර:

පොලිස් නිලධරයා රජයේ සේවකයෙකි.එමෙන්ම අපරාධ මර්ධනය කරන්නෙක් විය යුතුයි.වරදකට සැක කටයුතු පුද්ගලයින් අධිකරණය  ඉදිරියට පැමිණවීම,වැරදි සම්බන්ධ විමර්ෂණ සිදු කිරීම, අධිකරණ කාර්ය පටිපාටියට සක්‍රීයව සහභාගි වෙමින් අධිකරණයට සහය වන්නෙක් විය යුතුයි.එසේම පොලිස් නිලධාරීන් අපක්ෂපාතීව සේවයේ නියැලෙමින් සිය වෘත්තීය ගෞරවය ආරක්ෂා කර ගැනීම කළයුතුයි.

තවද පොලිස් නිලධාරීන් නිර්භයව සිය සේවය ඉටුකල යුතුය.යම් වරදකව අධිකරණය ඉදිරියේ වරදකරු වූ විට වසරක් නොඉක්මවන කාලයකට සිරහත කළ හැකිය.

විශේෂයෙන් පොලිස් නිලධාරියෙකු රජයේ දේපල විකිණීම,උකස් කිරීම ආදී ක්‍රියාවන් කිරීම මාස 03ක් දක්වා සිරගතකළ හැකි වරදකි.

04 ගැටළුව:

යම් තැනැත්තෙකුට හෝ යම්කිසි පුරවැසියෙකුට පොලිස් නිලධාරියෙකු සිය රාජකාරී ක්ෂේත්‍රය තුල කරන ලද අකටයුතුකම් සම්බන්ධයෙන් නීතියේ ආරක්ෂාව කෙසේද?

පිළිතුර:

එවැනි ආකාරයේ අකටයුතුකම් සම්බන්ධව සිය රාජකාරි ක්ෂ්‍රේත්‍රය තුල සිදුකරන්නාවූ ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් පිළිබඳ විෂය ක්ෂේත්‍රයට අදාළ වෙයි.එබැවින් පොලිස් නිලධාරීන් විසින් කරන ලද නීතිවිරෝධී අත් අඩංගුවට ගැනීම් නීතිවිරෝධී රඳවා තබා ගැණීම්,පහරදීම් ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යැවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමකින් අභියෝග කළ හැකිය.

පොලිස් නිලධාරීන් මගින් මූලික අයිතිවාසිකම් කඩවිය හැකි අවස්ථාවන් මෙසේය.

01.යම්කිසි තැනැත්තෙකු වදහිංසාවලට හෝ කෘෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් කර ඇති අවස්ථාවකදී

උදාහරණ: සැකකරුවකු පොලිස් අත් අඩංගුවේ සිටියදී පොලුවලින් පහරදීම, හම්පටියකින් පහරදීම, මුහුණට මිරිස් කුඩු ගැසීම, පයින් ගැසීම, හිසට මොට ආයුධයකින් පහරදීම.

02.කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නීතියෙන් නියම කරනු ලැබූ පටිපාටියට බැහැරව සිදු නොකළ යුතුය.

03.අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු පැය 24ක් ඇතුළත ආසන්නතම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළයුතුය.

04.නීතියෙන් නියම කරනු ලැබ ඇති කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු මරණ දණ්ඩනයට යටත් කිරීම, බන්ධනාගාරගත කිරීම නොකළ යුත්තේය.

05.යම්කිසි තැනැත්තෙකු අත් අඩංගුවට ගැනීමේදී ඊට අදාල හේතුව එහී තැනැත්තාට පැහැදිලි කර දිය යුතුය.

06.තවද අත් අඩංගුවට ගැනීමකදී පොලිස් නිලධාරියෙකු විසින් අවශ්‍ය ප්‍රමාණයට වඩා බලය යෙදීම නීත්‍යානුකූල නොවේ.