අත් අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ බලතල සම්බන්ධ නීතිමය පසුබිම

අත් අඩංගුවට ගැනීමේ හා රඳවා ගැනීමේ බලතල සම්බන්ධ නීතිමය පසුබිම

01.ගැටළුව :

යම්කිසි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම සිදුවිය යුතු නීතිමය ආකාරය කෙසේද?

පිළිතුර:

යම් පුද්ගලයක් තමන් කැමති විටක,කැමති ආකාරයකට ,කැමති ස්ථානයකදී අත් අඩංගුවට ගැනීමේ බලයක් පොලිස් නිලධාරියෙකුට නොමැත. අත් අඩංගුවට ගැනීම නීත්‍යානුකූල ලෙස නීතියෙන් නියමකර ඇති ආකාරයට කළ යුතුයි. අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගනු නොලැබීමේ හා රඳවා තබනු නොලැබීමේ අයිතිය සෑම පුද්ගලයෙකුම සතු මූලික මිනිස් අයිතිවාසිකමකි.එම අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) හා 13(2) වගන්ති මගින් සහතික කොට ඇත.

02.ගැටළුව :

අත් අඩංගුවට ගැනීම යනු කුමක්ද?

පිළිතුර : නීතියට අනුව අත් අඩංගුවට ගැනීමක් සිදු වීමට පුද්ගලයෙකු අල්ලා මාංචු දැමීමක්,පොලිස් ජිප් රථයක් තුළට දමා ගැනීමක් හෝ පොලිස් කූඩුව තුලට දැමීමක් අවශ්‍ය නොවේ.පොලීසිය විසින් පුද්ගලයෙකුගේ තමා කැමති තැනකට යාමේ නිදහස අවහිර කළවිට එය අත් අඩංගුවට ගැනීමක් ලෙස නීතිය සලකයි.

අත් අඩංගුවට ගැනීම ආකාර 02කට සිදුකළ හැකියි.එනම්

01.අධිකරණයකින් නිකුත් කර ඇති වරෙන්තුවක් මත

02.වරෙන්තුවක් නොමැතිව

වරෙන්තුවක් නොමැතිව පුද්ගලයෙකු අත් අඩංගුවට ගතහැකි අවස්ථා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32,33 වගන්ති වලත්, පොලිස් ආඥා පණතේ 63,69,85 වගන්ති වලත් සඳහන් කොට ඇත.ඒවා යටතට නොවැටෙන සෑම වැරැද්දක් සම්බන්ධයෙන්ම අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍යයි.

03.ගැටළුව :

වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට හැකි වැරදි මොනවාද?

පිළිතුර : පහත සඳහන් වැරදි කරන පුද්ගලයින්ව අධිකරණ නියෝග හෝ වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරියකුට හැකියි.

01.ඇපදිය නොහැකි බරපතල වරදක් කර ඇති හෝ එසේ කර ඇති බවට සාධාරණ පැමිණිල්ලක් හෝ විශ්වාස කටයුතු තොරතුරක් ලැබී ඇති හෝ සාධාරණ සැකයක් පවතින පුද්ගලයින්ව.

02.ගෙවල් බිඳීමේ උපකරණ ලඟ තබාගෙන සිටින පුද්ගලයින්.

03.වැරදි කර ඇති අයෙකු හැටියට ප්‍රකාශයට පත්කොට ඇති පුද්ගලයින්

04.සොරබඩු හා වරදකට සම්බන්ධ බඩු ලඟ තබාගෙන සිටින පුද්ගලයකු.

05. පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරන හෝ නීත්‍යානුකූල හෝ අත් අඩංගුවෙන් පැනගොස් ඇති හෝ පැනයාමට උත්සාහ කරන පුද්ගලයින්.

06. ත්‍රිවිධ හමුදාවෙන් පැනගොස් සිටින අය .

07.වරදක් කිරීමේ අදහසින් සැඟවී සිටින හෝ සැඟවී සිටීමට උත්සාහ කරන්නන් යැයි විශ්වාස කිරීමට හේතු ඇති පුද්ගලයින්.

08.පිටරටකදී දඬුවම් කළහැකි වරදක් කර ඇති හෝ කරඇති බවට විශ්වාසනීය තොරතුරක් ලැබී හෝ සාධාරණ සැකයක් පවතින පුද්ගලයින්.

09.පොලිස් නිලධාරියෙකු ඉදිරියේ සාමය කඩ කිරීමේ ක්‍රියාවක් කරන අය.

10.ප්‍රසිද්ධ ස්ථානයකදී හෝ මහ මගදී බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්.

11.කිසියම් රජය සතු දේපලක්, පොලිස් නිලධාරියෙකුගෙන් මිලට ගන්නාවූ, උගසට ගන්නාවූ හෝ ලබා ගන්නා වූ පුද්ගලයින්

12.මහමග හරක් මරණ හෝ සත්ව ශරීර පිරිසිදු කරන පුද්ගලයින්

13. ඇඳිරි නීතිය වැටීමෙන් පසු දල්වාගත් ලන්තෑරුමක් නොමැතිව කරත්තයක් හෝ වෙනත් වාහනයක් පදවන පුද්ගලයෙකු.

යනාදී වැරදි ඉදිරියේ පොලිස් නිලධාරියෙකුට පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට හැකියාව ඇත.

04.ගැටළුව : වරෙන්තුවක් සහිතව අත් අඩංගුවට ගැනීම යනු කුමක්ද?

පිළිතුර : අධිකරණයක් විසින් නිකුත් කරන විනිසුරුවෙකු අත්සන් තබන ලද නීතිමය ආකෘතියකින් යුතු ලියවිල්ලක් අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලෙස හඳුන්වයි.වරෙන්තුවක් රටේ ඕනෑම පෙදෙසකදී ක්‍රියාත්මක කළ හැකියි.

යම්කිසි පුද්ගලයෙකුගේ නම සහ ඔහුගේ ගම නිසැකව දැන ගැනීම සඳහා පමණක් අත් අඩංගුවට ගන්නා පුද්ගලයෙකු එසේ දැනගැනීමෙන් පසු නොපමාව ඇප පිට මුදාහල යුතුයි. යමෙකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇපදිය හැකි වරදක් සම්බන්ධයෙන් නම් නියමිත දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටින කොන්දේසිය පිට ඔහු ඇප මත මුදාහල යුතුයි.

තවද වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවටගත් කවර පුද්ගලයෙකු වුවද පැය 24කට වඩා අධිකරණයක් වෙත ඉදිරිපත් නොකොට අත් අඩංගුවේ තබා නොගත යුතුය.

වරද ඇපදිය නොහැකි වරදක් නම් සහ වරද පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා පුද්ගලයා අත් අඩංගුවේ රඳවා ගැනීම අවශ්‍ය වේ නම් අත් අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණය වෙත ඉදිරිපත්කොට රිමාන්ඩ් නියෝගයක් ලබාගත යුතුය.

එසේම අත් අඩංගුවට ගත් ස්ථානයේ සිට අධිකරණය වෙත යන කාලය හැර පැය 24කට වඩා පුද්ගලයෙකු අධිකරණය වෙත ඉදිරිපත් නොකොට අත් අඩංගුවේ තබා ගැනීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි.