හිංසනයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වැඩ ලෝකයක් උදෙසා C 190 සම්මුතිය අපරානුමත කරමු!

හිංසනයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර වැඩ ලෝකයක් උදෙසා C 190 සම්මුතිය අපරානුමත කරමු!

වැඩලෝකය තුළ සිදුවෙන ප්‍රචණ්ඩත්වය හා හිරිහැර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර ගිවිසුමක් නොතිබීම මෙම සම්මුතියට සුවිශේෂී අගයක් ලැබීමට ප්‍රධාන හේතුවකි. එනම් වැඩ ලෝකය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිරිහැර කිරිම් මගින් පුද්ගලයෙකුගේ/සේවකයෙකුගේ ශාරීරික,මානසික,ලිංගික සෞඛ්‍යමය සහ ආත්මගරුත්වය යන සාධක තුලින් ඔහුගේ හෝ ඇයගේ ස්වකීය පවුල් ජීවිතයට සහ සමාජීය පරිසරයන් වෙත ගුණාත්මක බලපෑමක් ඇතිකරයි. ඒ අනුව සේවා ස්ථානයේ හාම්පුතාට එනම් සේවායෝජකයාටද මෙමඟින් සෘජු බලපෑමක් ඇතිවේ.එනම් ශ්‍රමය සපයන්නන්ගේ මානසික සහ ශාරීරික නිරෝගීතාවය, යහපත්භාවය දුරුවෙනවිට සේවකයින් ශ්‍රම වෙළෙදපොලට පැමිණීම අඩුවී නිෂ්පාදනය අඩුවී යන බවක් අඩු වී යයි.

දැනට පවතින නීතියට අනුව සේවා ස්ථානයන් තුල සිදුවෙන ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලිකොට නඩු පැවැරීමේ හැකියාව තුබුනද එවැනි හිරිහැර අඩුකිරීම වෙනුවට නැවත නැවතත් හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයට කාන්තා ශ්‍රමිකයින් විශේෂයෙන් මුහුණ දේ. නමුත් මෙම ජාත්‍යන්තර සම්මුතිය මඟින් (C190) සේවා ස්ථානය යන සීමාවෙන් ඔබ්බට ගොස් වැඩ ලෝකය දක්වා අදාල ශ්‍රමිකයාව ආරක්ෂා කරයි. එනම් සේවා ස්ථානයේ සිට සිය නිවස දක්වා ගමනාගමනයේදී, සේවා රාජකාරී සඳහා කාර්යාලයෙන් පිටතට ගිය අවස්ථාවලදී, රැකියාව සම්බන්ධ විනෝද චාරිකා, පුහුණු වැඩසටහන්, සේවායෝජකයාගෙන් ලබා දෙන නේවාසික ස්ථාන වලදී, සනීපාරක්ෂා කටයුතු සිදුකර තැන්වලදි සිදුවන ප්‍රචණ්ඩත්වයන් හා හිරිහැර වලින්ද කාන්තා /පුරුෂ දෙපාර්ශවයම සුරක්ෂිත කරයි.

තවද වැඩ ලෝකය තුල සිදුවෙන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් යන ප්‍රකාශය තුලම පුරවැසියෙකුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවට පෙන්නුම් කරයි. අප රටේ දැනට පවතින  මූලික නීතිය එනම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව කිසිදු පුරවැසියෙකු ස්ත්‍රී පුරුෂභාවය මත,ජනවර්ගය,ආගම,කුලය,දේශපාලන මතය,උපන් ස්ථානය අනුව වෙනස්කොට සැලකීමක් සිදු නොකළ යුතුය. මෙම මූලික නීතියට අනුව එම සිදුකරන ලද ක්‍රියාව විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් කඩවූ අයිතිවාසිකමක් විය යුතුය. මේ ආකාරයෙන් සේවකයෙකුගේ අයිතිවාසිකම් කඩවීමක් සිදුවුවහොත් එම අයිතිවාසිකම් කඩවූ දින සිට දින 30ක කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකළ හැකියි. නමුත් මෙම C190 සම්මුතිය මඟින් පුදගලයෙකු විසින් පුද්ගලයෙකුට කරන ලද ප්‍රචණ්ඩත්වයක් හෝ හිරිහැරයක් සම්බන්ධයෙන් පුළුල් ආවරණයක් ලැබේ.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පණත මඟින් කාන්තාවන්ට හා ළමයින්ට එරෙහිව සිදුවෙන ලිංගික හිංසනයන්ට අපරාධ අධිකරණයේ නඩුවක් පැවරීමෙන් චූදිතයාගේ වරදකාරී භාවය සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතුවේ. විශේෂයෙන් මෙවැනි නඩුවලදී නීතිඥයින්ගේ දක්ෂතාවය මත අගතියට පත් පාර්ශවයන්ට නීතිමය සහන වෙනුවට ඔවුන්ගේ මානසික අසහනය වැඩිවී හැරිහැටි තම නඩුව ඔප්පු කර ගැනීමට නොහැකිවී යුක්තිය නොලැබී යයි.

1950 අක 45 දරණ කාර්මික ආරවුල් පණත මගින් යම් සේවකයෙකු හා සේවායෝජකයෙකු අතර ඇතිවන කාර්මික ආරවුල් පණත ප්‍රකාරවත්, සේවා ස්ථානය තුල සිදුවන ලිංගික හිංසනයන් ගැන කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විමර්ෂණය කර ඒ සම්බන්ධව තීරණයක් ලබාදීමට බෙදුම්කරණ මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරයි. තවද ලිංගික හිංසනය හේතුවෙන් යම් සේවකයෙකුගේ සේවය අවසන් කිරීමක් සිදුවී ඇත්නම් ඒ ගැන කම්කරු වින්ශ්චය සභාවට (Labour Tribunal) පැමිණිලි කළ හැකියි.

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රබල කම්කරු නීතියක් වන කම්කරු වන්දි ආඥා පණත මගින්ද සේවකයෙකු ප්‍රචණ්ඩත්වය හෝ හිරිහැර මගින් ශාරීරික තුවාල හෝ ආබාධිත තත්ත්වය ඇතිවන අවස්ථාවන් මිස සේවකයාගේ මානසික,සමාජීය හෝ ආර්ථික තත්ත්වයන් පිළිබඳ අවධානයක් හෝ විධිවිධානයක් පවතින නීතියේ නොමැත. නමුත් C190 සම්මුතිය මඟින් මේ සියලු ආකාරයේ තත්ත්වයන් ආමන්ත්‍රණය කොට ඇත.

මෙම C190 ජාත්‍යන්තර සම්මුතිය වගන්ති 12කින් සමන්විතවන අතර විශේෂිතවූ වගන්තියක් වන්න්නේ නීති බලාත්මක කිරීම සහ ප්‍රතිකර්ම දැක්වෙන්නාවූ 10 වන වගන්තියේ සඳහන් කරුණු මගින් එක් එක් සාමාජික රාජ්‍යයන් විසින් පහත සඳහන් කාර්යයන් සඳහා යෝග්‍ය පියවර ගත යුතුය යන්නයි.

අ) වැඩ ලෝකය තුල සිදුවන ප්‍රචණ්ඩත්වය හා හිරිහැර සම්බන්ධයෙන් ජාතික නීති හා රෙගුලාසි අධීක්ෂණය කිරීම හා බලාත්මක කිරීම.

ආ) වැඩ ලෝකය තුල සිදුවෙන පහත සඳහන් ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා හිරිහැර,සිද්ධි සම්බන්ධයෙන් සාධාරණ හා ඵලදායී ප්‍රතිකර්ම හා ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන් හා ක්‍රියාපටිපාටීන් සඳහා පහසු ප්‍රවේශ්‍යතාවය සහතික කිරීම.

  • පැමිණිලි හා විමර්ෂණ ක්‍රියාපටිපාටීන් සහ යෝග්‍ය අවස්ථා වලදී සේවා ස්ථාන මට්ටමින් ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්
  • සේවා ස්ථානයට පරිබාහිර ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්
  • අධිකරණ හෝ විනිශ්චය සභා
  • පැමිණිලිකරුවන්,වින්දිතයන්,සාක්ෂිකරුවන් සහ තොරතුරු අනාවරණෞඅ කරනු ලබන තැනැත්තන් පලිගැනීමට ලක් කිරීමෙන් හෝ වින්දිතයන් බවට පත් කරනු ලැබීමෙන් හෝ වින්දිතයන් බවට පත්කරනු ලැබීමෙන් ආරක්ෂා කිරීම
  • පැමිණිලිකරුවන් හා වින්දිතයන් සඳහා නීතිමය සමාජීය,සෞඛ්‍ය හා පරිපාලන සහාය පිරිවර.

තවද ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර ආවරණය කිරීම සඳහා අවශ්‍ය ජාතික ක්‍රියා පිළිවෙත්,ජාතික නීති හා රෙගුලාසි මගින් මෙම සම්මුතියෙහි විධිවිධාන බලාත්මක කළයුතු වේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් පිලිගත් වෘත්තීය සමිති සිවිල් සංවිධාන සහ නීති වෘත්තිකයින් මෙම සම්මුතියේ ජාතික අවශ්‍යතාවය හඳුනාගනිමින් විවිධ සාකච්ඡා ,දැනුවත් කිරීමේ වැඩසටහන්,සමාජ මාධ්‍ය ව්‍යාපාර,ලිපි ලේඛන ආදිය පලකිරීම මගින් සුවිශේෂී කාර්යභාරයක් කරමින් ක්‍රියාකාරී දැවැන්ත මෙහෙයුමක නියැලෙමින් සිටියි.

තවද මේ සම්බන්ධයෙන් නීති සැකසීමේ යාන්ත්‍රණය හොබවන කම්කරු අමාත්‍යාංශයේ කම්කරු ඇමති ගරු නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා සමඟ වෘත්තීය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන පසුගිය දිනයක මාධ්‍ය සාකච්ඡාව්ක් පවත්වා ඇති අතර එහිදී ගරු ඇමතිතුමා මෙම සම්මුතියේ වැදගත්කම හා එයින් ආවරණයවන  සමස්ත සේවක ක්ෂේත්‍රයම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් සහ එය සම්මත කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවට ප්‍රකාශ කළේය.

සෑම මිනිසෙකුටම ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් නිදහස් වීම පිළිබඳව ඇති මානව අයිතිය අවභාවිතාවන්නට ඉඩ නොදී රටේ උත්තරීතර  නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන රටක් ලෙස ලෝක කම්කරු සංවිධානය මගින් සම්මත කරන්නට යෙදුණු මෙම C190 සම්මුතිය කඩිනමින් අපරානුමත කොට සියළුම කම්කරුවන්ගේ කම්කරු නීතීන් සුරක්ෂිත කිරීමට රජයට බලකරමු.හඬ නගමු.ඉල්ලා සිටිමු.එසේ C190 අපරානුමත කර දකුණු ආසියාවේ පළමු රට බවට සටහන් තබමු.