ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් වර්ජනයකට සැරසේ

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් වර්ජනයකට සැරසේ

රාජ්‍ය සේවාව හා පළාත් රාජ්‍ය සේවාව යටතේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ නොවිසඳුණු ගැටළු 07ක් මුල් කරගනිමින් ඊට අදාළව ඉදිරි දිනවල දී පිළිගත හැකි විසඳුමක් නොලැබුණහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට හා පළාත් ආණ්ඩුකාරවරුන්ට සඳුදා (25) දින ලිඛිතව දැනුම් දීමට අප සංගමය තීරණය කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ ආශ්‍රීත සේවාවට අයත් උපාධිධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීන් ලක්ෂයකට (100000) ආසන්නව සිටින අතර මේ වනවිට අභ්‍යාසලාභී පුහුණුව යටතේ 53,500 ක පමණ පිරිසක් වෙති. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ 1 50 000 කට ආසන්න පිරිසකට අදාළ මුහුණ දීමට ඇති ගැටළු විසඳාගැනීමට අප සංගමය විවිධ අවස්ථාවල දී උත්සහ කළ ද උපාධිධාරීන්ට අදාළව ප්‍රධාන වෘත්තීය ගැටළු ගණනාවක්ම තවමත් විසඳුම් නොමැතිව පවතින බව පෙන්වා දෙන්නෙමු.

අදාළ විෂයභාර අමාත්‍යවරුන් හා අදාළ අමාත්‍යාංශ බලධාරීන් මෙම ගැටළු දිගින් දිගටම නොවිසඳීම නිසා ඇතැම් නිලධාරීන්ට විශ්‍රාම ගැනීමට පවා සිදුව ඇත්තේ අවම වෘත්තීය හිමිකම් පවා අහිමි කරගෙන බව පෙන්වා දෙන්නෙමු.

සඳුදා දින ලිඛිතව ආණ්ඩුවට හා අදාළ බලධාරීන්ට යොමු කිරීමට නියමිත ගැටළු හා ඊට අදාළ ඉල්ලීම්.

  1. 06/2006 චක‍්‍රලේකය මඟින් ඇතිකළ වැටුප් විෂමතාවය නිවැරදි කර උපාධිධාරී මූලික වැටුප ඉහළ දැමීම,
  2. උපාධිධාරීන් හරහා කාර්යාල සේවාවන් පමණක් පවත්වාගෙන යාම වෙනුවට උපාධියට සාධාරණ හා පිළිගතහැකි රාජකාරි ක්‍රමවේදයක් සකස් කිරීම,
  3. 2016 සිට රාජ්‍ය සේවකයින්ට අහිමිකර ඇති විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීම,
  4. අභ්‍යාසලාභී පුහුණුකාලය ස්ථිර සේවා කාලයට එකතු කිරීම,
  5. ගමන් වියදම් දීමනා ඉහළ දැමීම,
  6. සියලූම අභ්‍යාසලාභීන් කල් නොමරා කඩිනමින් ස්ථීර කිරීමයන ඉල්ලීම් සඳහා ආණ්ඩුව ඇතුළු අදාළ පාර්ශව මඟින් පිළිගතහැකි විසඳුමක් බලාපොරොත්තු වෙමු.
  7. 06/2006 වැටුප් චක්‍රලේකය ඇති කිරීමත් සමඟ උපාධිධාරීන් බඳවා ගැනීමේ පැවති මූලික වැටුප හා පරිපාලන සේවයේ මූලික වැටුප අතර පැවති වැටුප් වර්ධක 02 ක අගය වැටුප් වර්ධක 14 දක්වා ඉහළ දමා ඇති අතර MN-04 ආශ්‍රිත සේවා උපාධිධාරීන්ට බරපතල වැටුප් විෂමතාවක් ඇති කරන ලදි. වැටුප් කොමිෂමටත් අවසන් වරට පත්කළ රනුක්ගේ වැටුප් කමිටුව දක්වා ගැටළු ඉදිරිපත්කර ඇතත් මේ දක්වා ඊට විසඳුම් ලැබී නොමැත.

සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවයට එකතු වෙන උපාධිධාරීන් වසර 30,35ක සේවා කාලයක් නිම වී විශ්‍රාම යාමට නියමිත ඇත්තේ සංවර්ධන නිලධාරී තනතුරෙන්ම පමණි. සේවා කාලය තුළ කිසිඳු තනතුරු උසස්වීම් පටිපාටියක් ලබා දී නොමැත. 2018 වර්ෂයේ දී පැවති එක්දින වැඩ වර්ජනයෙන් පසු අධීක්ෂණ සංවර්ධන නිලධාරී තනතුරක් ඇති කිරීමට චක්‍රලේකයක් පවා නිකුත් කළ ද මේ දක්වා ඊට අදාළ ඉදිරි කටයුතු කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන නැත.

කාර්යාලීය ලිපි ගොනු හා ඊට අදාළ රාජකාරී, පිළිගැනීමේ නිලධාරී කවුළුවේ රාජකාරී, ඇතුළු බොහෝ රාජකාරී උපාධිධාරීන්ට ලබා දී ඇති අතර උපාධිධාරීන්ගේ අධ්‍යාපනික විශේෂතාවයක් හඳුනාගෙන ඊට සරිලන රාජකාරී ක්‍රමවේදයක් ඇති කිරීමට ගෙවුණු වසර කීපය පුරාම ආණ්ඩුවලට හැකි වී නොමැත.

2016 සිට රාජ්‍ය සේවයට අලූතින් එකතුවෙන පිරිසට එතෙක් පැවති වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකම අහිමිකර තිබීම, වසර ගණනාවක් සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන්ගේ ගමන් වියදම් දීමනා ඉහළ නොදැමීම හා 2020 රැකියා විරහිත උපාධිධාරී හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යසාලාභී පුහුණු උපාධිධාරීන් ස්ථීර කිරීම තවදුරටත් ප‍්‍රමාද කිරීම ඇතුළු මූලික ගැටළුවලට ඉදිරි දින 14 තුළ පිළිගතහැකි විසඳුමක් නොලැබුණහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා සිටීමට කටයුතු කිරීමට නියමිතය.