සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා (4) දින පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව
ජාතික අවම වේතනය රු. 10,000/= සිට රු. 12,500/= දක්වා වැඩි කිරීමට අදාලව 2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම
පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් සේවක, සේව්‍ය සහ රාජ්‍ය යන පාර්ශව ත්‍රිත්වයෙහිම නියෝජනය සහිත ජාතික කම්කරු උපදේශක සභාවේ එකඟතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතනය පනතේ ප්‍රතිපාදන මත 2016 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.10,000/- ක අවම මාසික වැටුපක් හෝ දින 25 ක උපරිමයකට යටත්ව රු.400/- ක අවම දෛනික වැටුපක් නියම කර ඇත.
එසේ ලබාදුන් සේවක අයිතිවාසිකම් තවදුරටත් සහතික කිරීමේ අරමුණින් “රට නඟන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි “පෞද්ගලික අංශය” යන ශීර්ෂය යටතේ “දැනට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ රු. 10,000/- ක අවම වැටුප රු. 2,500/- කින් ඉහළ නංවනු ලැබේ” යනුවෙන් සඳහන් කර ඇත.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින්ද, වැඩිවන ජීවන වියදම සැලකිල්ලට ගෙන දැනට පවත්නා අවම මාසික වැටුප රු. 10,000/- සිට රු. 12,500/- දක්වා සහ අවම දෛනික වැටුප රු. 400/- සිට රු. 500/- දක්වා ඉහළ නැංවීමට හැකි වන පරිදි 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතනය පනතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කළ අංක L.D.-O 25/2019 දරන නීති කෙටුම්පත 2020.09.10 දිනැතිව නිකුත් කරන ලද අතර මෙම නීති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමා කිරීමකට යටත් නොවන බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව සඳහන් නීතිපතිතුමාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමු අංක B/37/2019 යටතේ ලබා දී ඇත.
ඒ අනුව, සැකසූ සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් 2020.09.23 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය, අංක අමප/20/1538/303/020 -I හා 2021.02.23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමත කර ඇත.
ඒ අනුව, සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 10,000/- සිට රු. 12,500/- දක්වා රු. 2,500/- කින් සහ අවම දෛනික වැටුප රු. 400/- සිට රු. 500/- දක්වා රු. 100/- කින් ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අපේක්ෂා කරමි.
තවද, 2015 සහ 2016 අයවැය සහන දීමනා පනත්හි විධිවිධාන යටතේ මාසිකව රු. 3,500/-ක දීමනාවක් මෙම සේවකයින්ට හිමි වන බැවින් සේවකයෙකුගේ අවම මාසික වැටුප රු. 12,500/- දක්වා ඉහළ නැංවීම හේතුවෙන් සහ රු. 3,500/- ව්‍යවස්ථාපිත දීමනාද සමඟ සේවකයෙකුගේ අවම මාසික වැටුප රු. 16,000/- දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම, පඩි පාලක සභා යටතේ මේ දක්වා රු. 12,500/-ට අඩු මාසික වැටුපක් ලැබූ ක්ෂේත්‍ර 23ක පඩි පාලක සඳහා මෙම පනත යටතේ වූ යෝජනා ක්‍රියාත්මක කිරීම තුලින් මෙම සහන සැලසෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ සේවයේ නියුක්තව සිටී පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මෙම සේවකයින්ගේ වැටුප් තීරණය වන ප්‍රධාන නෛතික මූලාශ්‍ර 3ක් වර්ථමානයේ ක්‍රියාත්මකව පවතී එම නීතිමය මූලාශ්‍ර නම්,
2016 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 2016 අංක 03 දරණ ජාතික අවම වේතනය පනත හඳුන්වා දුන් අතර මෙම පනත මඟින් බැහැර කර ඇති රජයේ ව්‍යවස්ථාපිත ආයතන, සමූපකාර සමිති, ආගමික හා පුණ්‍යායතන වල සේවකයින් හැරුණු විට මේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන සියළුම සේවකයින් ආවරණය වන ආකාරයට පනත පනවා ඇත.
මෙම පනත මඟින් ලංකාවේ පළමු වරට පෞද්ගලික අංශයේ මාසිකව පඩි ලබන සේවකයින් සඳහා රු. 10,000/=ක අවම මාසික වේතනයක් ද දෛනික පඩි ලබන සේවකයින් සඳහා රු. 400/= ක දෛනික වේතනයක් ද ගෙවීමට සේවායෝජකට ව්‍යවස්ථාපිතව බැඳීමක් ඇති කර ඇත. කෙසේ වුවත්, මෙම පනතේ සඳහන් ප්‍රතිපාදන අවම වේතනයට වඩා වැඩි වේතනයක් සේවකයකුට ගෙවීමට බාධාවක් නොවේ.
මෙම පනතට අමතරව 2005 අංක 36 දරන අයවැය සහන දීමනා පනත මඟින් රු. 1,000/= ක් හා 2016 අංක 04 දරණ අයවැය සහන දීමනා පනත මඟින් රු. 2,500/= ක අයවැය සහන දීමනාවක් සමඟ රු. 13,500/= ක අවම ගෙවීමක් සේවායෝජක විසින් තම සේවකයින් වෙත මාසිකව ගෙවීමට වර්ථමානයේ බැඳී සිටී.
උදා :- දැනට පඩි පාලක සභා තීරණ 44ක් ඒ ඒ කර්මාන්ත හා සේවා වලට අදාලව ක්‍රියාත්මක වන අතර, එම පඩි පාලක සභා තීරණ වලින් 20ක පමණ මාසික අවම වැටුප රු. 12,500/= කට වඩා අඩු අවම වැටුපකි. මෙම වැටුප් කිසිසේත්ම රටේ පවතින ජීවන වියදම අනුව ජීවත්වීමට සරිලන වැටුපක් ලෙස තීරණය කළ නොහැක. මෑතකදී තේ හා රබර් කර්මාන්තයේ සේවකයින්ට අදාලව තීරණය කරනු ලැබූ දෛනික වැටුප රු. 1,000/=කට අමතරව අනෙකුත් පඬිපාලක සභාවල මෙම මාසික වැටුප රු. 14,000/=ක් හෝ ඊට වඩා අඩු මට්ටමක පවතී
2016 අංක 03 දරන සේවකයින්ගේ ජාතික අවම වේතනය පනත රටේ පෞද්ගලික අංශයේ සේවය කරන සමස්ථ සේවක සේවිකාවන්ගේ අවම වේතනය තීරණය කිරීමේ දී සෘජුවම බලපාන මිනුම් දණ්ඩක් බැවින්, ඉහත සඳහන් කරුණු අනුව මාසික අවම වේතනය රුපියල් 10,000/= සිට රුපියල් 12,500/=ක් දක්වා ඉහල නැංවීම මෙම පනත හඳුන්වා දුන් 2016 වර්ෂයේ සිට මේ දක්වා වැඩි වී ඇති ජීවන වියදමට සාපේක්ෂව ඉතා සාධාරණ බව යෝජනා කරමි. මෙම සංශෝධනය මඟින් අවම වේතනය රු. 12,500/=ක් දක්වා වැඩි කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ සේවකයකුට ලබා ගත හැකි අවම වේතනය රු 3,500/=ක අයවැය සහන දීමනාවද ඇතුළුව රු 16,000/=ක් දක්වා වැඩි වන බව සඳහන් කරමි.
