ජාතික අවම වේතනය රු. 10,000/= සිට රු. 12,500/= දක්වා වැඩි කිරීමට සංශෝධනයක්

ජාතික අවම වේතනය රු. 10,000/= සිට රු. 12,500/= දක්වා වැඩි කිරීමට සංශෝධනයක්

සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් කම්කරු අමාත්‍යවරයා (4) දින පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව

ජාතික අවම වේතනය රු. 10,000/= සිට රු. 12,500/= දක්වා වැඩි කිරීමට අදාලව 2016 අංක 03 දරන ජාතික අවම වේතනය පනත සංශෝධනය කිරීම

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දිය යුතු බවට ඉදිරිපත්  වූ යෝජනාව සම්බන්ධයෙන් සේවක, සේව්‍ය සහ රාජ්‍ය යන පාර්ශව ත්‍රිත්වයෙහිම නියෝජනය සහිත ජාතික කම්කරු උපදේශක සභාවේ එකඟතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතනය පනතේ ප්‍රතිපාදන මත 2016 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු.10,000/- ක අවම මාසික වැටුපක් හෝ දින 25 ක උපරිමයකට යටත්ව රු.400/- ක අවම දෛනික වැටුපක් නියම කර ඇත.         

එසේ ලබාදුන් සේවක අයිතිවාසිකම් තවදුරටත් සහතික කිරීමේ අරමුණින් “රට නඟන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි “පෞද්ගලික අංශය” යන ශීර්ෂය යටතේ “දැනට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ රු. 10,000/- ක අවම වැටුප රු. 2,500/- කින් ඉහළ නංවනු ලැබේ” යනුවෙන් සඳහන් කර ඇත.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින්ද, වැඩිවන ජීවන වියදම සැලකිල්ලට ගෙන දැනට පවත්නා අවම මාසික වැටුප රු. 10,000/- සිට රු. 12,500/- දක්වා සහ අවම දෛනික වැටුප රු. 400/- සිට රු. 500/- දක්වා ඉහළ නැංවීමට හැකි වන පරිදි 2016 අංක 03 දරණ සේවකයින්ගේ අවම වේතනය පනතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් භාෂාත්‍රයෙන් සකස් කළ අංක L.D.-O 25/2019 දරන නීති කෙටුම්පත 2020.09.10 දිනැතිව නිකුත් කරන ලද අතර මෙම නීති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමා කිරීමකට යටත් නොවන බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව සඳහන් නීතිපතිතුමාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමු අංක B/37/2019 යටතේ ලබා දී ඇත.

ඒ අනුව, සැකසූ සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය  සඳහා  කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් 2020.09.23 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය, අංක අමප/20/1538/303/020 -I හා 2021.02.23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමත කර ඇත.

ඒ අනුව, සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 10,000/- සිට රු. 12,500/- දක්වා රු. 2,500/- කින් සහ අවම දෛනික වැටුප රු. 400/- සිට රු. 500/- දක්වා රු. 100/- කින් ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අපේක්ෂා කරමි.

තවද, 2015 සහ 2016 අයවැය සහන දීමනා පනත්හි විධිවිධාන යටතේ මාසිකව රු. 3,500/-ක දීමනාවක් මෙම සේවකයින්ට හිමි වන බැවින් සේවකයෙකුගේ අවම මාසික වැටුප රු. 12,500/- දක්වා ඉහළ නැංවීම හේතුවෙන් සහ රු. 3,500/- ව්‍යවස්ථාපිත දීමනාද සමඟ සේවකයෙකුගේ අවම මාසික වැටුප රු. 16,000/- දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම, පඩි පාලක සභා යටතේ මේ දක්වා රු. 12,500/-ට අඩු මාසික වැටුපක් ලැබූ ක්ෂේත්‍ර 23ක පඩි පාලක සඳහා මෙම පනත යටතේ වූ යෝජනා ක්‍රියාත්මක කිරීම තුලින් මෙම සහන සැලසෙනු ඇත.

  • පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් තීරණය කරනු ලබන නීතිමය මූලාශ්

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් මිලියන 3කට වැඩි ප්‍රමාණයක් ‍පෞද්ගලික අංශයේ සේවයේ නියුක්තව සිටී පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මෙම සේවකයින්ගේ වැටුප් තීරණය වන ප්‍රධාන නෛතික මූලාශ්‍ර 3ක් වර්ථමානයේ ක්‍රියාත්මකව පවතී එම නීතිමය මූලාශ්‍ර නම්,

  • සේවයට බැඳෙන අවස්ථාවේ සේවායෝජක හා එම සේවකයා ඇති කර ගන්නා සේවා ගිවිසුමේ වැටුප් පිළිබඳ සඳහන් කොන්දේසි මඟින්
  • සාමූහික ගිවිසුම් වල සඳහන් කොන්දේසි මඟින්
  • ව්‍යවස්ථාපිත නීතිය මඟින්, උදා - පඩි පාලක සභා ආඥා පනත, අයවැය සහන දීමනා පනත් හා 2016 ජාතික අවම වේතනය පනත
  • පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ජාතික අවම වේතනයක් හඳුන්වා දීමේ ආරම්භය

2016 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 2016 අංක 03 දරණ ජාතික අවම වේතනය පනත හඳුන්වා දුන් අතර මෙම පනත මඟින් බැහැර කර ඇති රජයේ ව්‍යවස්ථාපිත ආයතන, සමූපකාර සමිති, ආගමික හා පුණ්‍යායතන වල සේවකයින් හැරුණු විට මේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන සියළුම සේවකයින් ආවරණය වන ආකාරයට පනත පනවා ඇත.

මෙම පනත මඟින් ලංකාවේ පළමු වරට පෞද්ගලික අංශයේ මාසිකව පඩි ලබන සේවකයින් සඳහා රු. 10,000/=ක අවම මාසික වේතනයක් ද දෛනික පඩි ලබන සේවකයින් සඳහා රු. 400/= ක දෛනික වේතනයක් ද ගෙවීමට සේවායෝජකට ව්‍යවස්ථාපිතව බැඳීමක් ඇති කර ඇත. කෙසේ වුවත්, මෙම පනතේ සඳහන් ප්‍රතිපාදන අවම වේතනයට වඩා වැඩි වේතනයක් සේවකයකුට ගෙවීමට බාධාවක් නොවේ.

මෙම පනතට අමතරව 2005 අංක 36 දරන අයවැය සහන දීමනා පනත මඟින් රු. 1,000/= ක් හා 2016 අංක 04 දරණ අයවැය සහන දීමනා පනත මඟින් රු. 2,500/= ක අයවැය සහන දීමනාවක් සමඟ රු. 13,500/= ක අවම ගෙවීමක් සේවායෝජක විසින් තම සේවකයින් වෙත මාසිකව ගෙවීමට වර්ථමානයේ බැඳී සිටී.

  • සේවකයින්ගේ ජාතික අවම වේතනය පනත සංශෝධනය කර අවම වැටුප වැඩි කිරීමට හේතු වූ කරුණු
  •  2016 ජනවාරි සිට බලාත්මක රු. 10,000/= අවම වේතනය මේ දක්වා වැඩිකර නොමැති අතර, මෙම අවම වේතනය සමඟ 2005 හා 2016 අයවැය සහන දීමනා පනත් මඟින් ගෙවීමට නියමිත රු. 3,500/= ක අයවැය සහන දීමනා සමඟ දැනට බලාත්මක පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රු. 13,500/=කට සීමා වීම හා මෙම වැටුප හඳුන්වා දී දැනට අවුරුදු 06කට ආසන්න වුවද පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප වැඩි නොවීම
  • 2016 සිට 2020 දක්වා කාලය තුළ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය අනුව ජීවන වියදම 21% කින් පමණ ඉහළ ගියද ඊට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වේතනය මේ දක්වා වැඩිකර නොමැති වීම
  • රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල සහ රජයට අයත් ව්‍යවස්ථාපිත ආයතනවල දීමනා රහිතව කණිෂ්ඨ සේවකයෙකුට ගෙවන ආරම්භක මාසික මූලික වැටුප රු. 24,750/=ක් පමණ වීම මත පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් අතර විශාල විෂමතාවයක් හා පරතරයක් පැවතීම
  • පෞද්ගලික අංශයේ ශ්‍රම බලකායෙන් බහුතර සේවක සංඛ්‍යාවක් අසංවිධිතව වෘත්තීය සමිතිවලට අනුගත නොවී සිටීම මඟින් සේවායෝජකයින් සමඟ කේවල් කර වැටුප් වැඩිකර ගැනීමට හැකියාවක් බහුතර සේවක සංඛ්‍යාවකට නොහැකි වීම. තවද, රැකියා වියුක්තිය හා නුපුහුණු ශ්‍රමිකයන් වැඩිවීම නිසා සේවයට බැඳෙන අවස්ථාවේද සේවායෝජකයින් සමඟ කේවල් කර ඉහළ වැටුප් සේවා ගිවිසුමට ඇතුළත් කර ගැනීමේ හැකියාව අවම මට්ටමක පැවතීම මත රජය මැදිහත් වී ව්‍යවස්ථාපිතව දුර්වල පාර්ශවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම
  • 1941 අංක 27 දරන පඩි පාලක සභා ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පිහිටුවා ඇති පඩි පාලක සභා වල තීරණ මඟින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවය කරන සියලුම සේවකයින් ආවරණය නොවන අතර, පෞද්ගලික අංශයේ ශ්‍රම බලකායෙන් දළ වශයෙන් 50%ක් පමණ ආවරණය වේ. මෙම පඩි පාලක සභා තීරණ මඟින් ආවරණය වන ඒ ඒ කර්මාන්ත හා සේවාවල සේවකයින්ගේ අවම වැටුප ද තීරණය කරනු ලබන්නේ ත්‍රෛපාර්ශ්වික යාන්ත්‍රනයක් මඟින් නිසා ජීවත් වීමට සරිලන වැටුපක් (Living Wage) සැමවිටම තීරණය නොවීම.

උදා :- දැනට පඩි පාලක සභා තීරණ 44ක් ඒ ඒ කර්මාන්ත හා සේවා වලට අදාලව ක්‍රියාත්මක වන අතර, එම පඩි පාලක සභා තීරණ වලින් 20ක පමණ මාසික අවම වැටුප රු. 12,500/= කට වඩා අඩු අවම වැටුපකි. මෙම වැටුප් කිසිසේත්ම රටේ පවතින ජීවන වියදම අනුව ජීවත්වීමට සරිලන වැටුපක් ලෙස තීරණය කළ නොහැක. මෑතකදී තේ හා රබර් කර්මාන්තයේ සේවකයින්ට අදාලව තීරණය කරනු ලැබූ දෛනික වැටුප රු. 1,000/=කට අමතරව අනෙකුත් පඬිපාලක සභාවල මෙම මාසික වැටුප රු. 14,000/=ක් හෝ ඊට වඩා අඩු මට්ටමක පවතී

  • තේ හා රබර් වැවීමේ කර්මාන්තවල සේවකයින් සඳහා පඬිපාලක සභා ආඥා පනත යටතේ පිහිටුවා ඇති පඬිපාලක සභා තීරණ මඟින් දෛනික අවම වැටුප රු. 1,000/=ක් නියම කිරීම මඟින් මාසිකව රු. 25,000/=ක පමණ අවම වැටුපක් ලබාගැනීමේ හැකියාව එම කර්මාන්තවල සේවකයින් සඳහා මේ වන විට නීතිගත කර තිබීම. ඒ අනුව, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම සඳහා අනෙකුත් සේවකයින්ගේ වැටුප ඒ හා සමගාමී තත්ත්වයකට වැඩි කළ යුතු වීම
  • ජාතික අවම වේතන පනතේ දැනට පවතින රු. 10,000/= වැටුප රු. 12,500/= දක්වා වැඩි කිරීම මඟින් රජයේ අපේක්ෂිත අරමුණු
  • පෞද්ගලික අංශයේ සේවය කරන සමස්ථ සේවකයින්ම ආවරණය වන ලෙස ජීවත්වීමට සරිලන (Living Wage) අවම වැටුපක් ව්‍යවස්ථාපිතව තීරණය කර, සේවායෝජකයින් විසින් සේවකයින්ව ශ්‍රමය සූරාකෑම වැළක්වීම හා සමාජ සාධාරණත්වය පුළුල් කිරීම
  • ජීවන වියදමට හා උද්ධමනයට යම්තාක් දුරට ගැලපෙන ආකාරයේ අවම වැටුපක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ගෙවීමට සේවායෝජකයන්ට ව්‍යවස්ථාපිතව නියම කිරීම මඟින් සේවකයින්ට යහපත් ජීවන තත්ත්වයක් ලබා දී ඵලදායීතාවය වැඩි කිරීම
  • වැටුප් වැඩිකිරීම මඟින් සේවකයින්ගේ ක්‍රය ශක්තිය වැඩි කර, ඒ හරහා ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කර නිෂ්පාදනය හා රැකියා අවස්ථා පුළුල් කිරීම
  • ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කිරීම හා විශ්‍රාම ගැනීමේ දී සේවකයින්ට ලබා ගත හැකි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ඉහළ නැංවීම
  • “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට සඳහන් යෝජනාව ක්‍රියාත්මක කිරීම
  • නිගමන

 

2016 අංක 03 දරන සේවකයින්ගේ ජාතික අවම වේතනය පනත රටේ පෞද්ගලික අංශයේ සේවය කරන සමස්ථ සේවක සේවිකාවන්ගේ අවම වේතනය තීරණය කිරීමේ දී සෘජුවම බලපාන මිනුම් දණ්ඩක් බැවින්, ඉහත සඳහන් කරුණු අනුව මාසික අවම වේතනය රුපියල් 10,000/= සිට රුපියල් 12,500/=ක් දක්වා ඉහල නැංවීම මෙම පනත හඳුන්වා දුන් 2016 වර්ෂයේ සිට මේ දක්වා වැඩි වී ඇති ජීවන වියදමට සාපේක්ෂව ඉතා සාධාරණ බව යෝජනා කරමි. මෙම සංශෝධනය මඟින් අවම වේතනය රු. 12,500/=ක් දක්වා වැඩි කිරීමත් සමඟ පෞද්ගලික අංශයේ සේවකයකුට ලබා ගත හැකි අවම වේතනය රු 3,500/=ක අයවැය සහන දීමනාවද ඇතුළුව රු 16,000/=ක් දක්වා වැඩි වන බව සඳහන් කරමි.