දිනකට 1000 ඉල්ලා වතු කම්කරුවෝ සටනට

දිනකට 1000 ඉල්ලා වතු කම්කරුවෝ සටනට

දෛනික වැටුප රුපියල් දහස කරන ලෙස හය වසරක් තිස්සේ ගෙන ගිය අරගලයෙන් පසු වැටුප් නිරාකරණය පඩි පාලක සභාව වෙත යොමු කිරීමත් සමඟ වතු සමාගම් හා වෘත්තීය සමිති අතර පැවති සාමුහික ගිවිසුම අහෝසි විය.

ඩයගම, තලවකැලේ, කොටගල සහ ලිඳුල වතු වලට අයත් සිය ගණනක් කම්කරුවෝ ලිඳුල නගරයට (12) දින රැස් වී උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටියේ තම අයිතීන් රැක ගැනීම වෙනුවෙන් සාමුහික ගිවිසුම අලුත් කරන ලෙසය.

වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර 2016 වසරේදී අවසන් වරට සාමුහික ගිවිසුමකට එළඹුණු අතර, රුපියල් 1000 දිනෙක වැටුප ලබා දිය නොහැකි බව පවසා වතු සමාගම් විසින් අභියාචනාධිකරණයේ නඩු පැවරීමත් සමග එය අහෝසි වී තිබේ.

 කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම්, අනෙකුත් දීමනා සහ සෙසු සුභසාධන සේවා ගැන දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණීමෙන් පසු වසර දෙකක කාලයකට  සාමුහික ගිවිසුම අත්සන් තැබෙනු ඇත.

නිෂ්පාදන වියදම ඉහල යාමත්, ජාත්‍යන්තර තේ වෙළඳ පොලේ මිල පහත වැටීමත් හේතුවෙන් කම්කරුවන්ගේ දිනෙක වැටුප රුපියල් 1000 ක් ලබා දිය නොහැකි බවයි වතු සමාගම් පවසන්නේ. එහෙත් වැවිලි කර්මාන්ත අමාත්‍ය රොමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී කියා සිටියේ  කොරෝනා වසංගතය පැවතියද තේ  අපනයන ආදායම ස්ථාවරව පැවති බවය.

අභියාචනාධිකරණයේ ගොනු කර ඇති වැටුප් නඩුව ලබන පෙබරවාරියේදී යළි කැඳවීමට නියමිතය.

වතු කම්කරුවන් වෙනුවෙන් සාමුහික ගිවිසුම්වලට අත්සන් තබන වතු හාම්පුතුන් පිළිගත් වෘත්තීය සමිතියක් වන,  ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය නායිකා අනුෂියා අන්නමලේ  සිවරාජාගේ නායකත්වයෙන්  නව සාමුහික ගිවිසුමක් ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

පාලක රාජපක්‍ෂ සභාග ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් වන මෙම  ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ද මීට එක්වූ බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ පවසති.