අවුරුදු 12-18 අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට ප්‍රමුඛතාවය දෙන්න: GMOA

gmoa

වයස අවුරුදු 12-18 අතර පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

ඊයේ දින (07) මාධ්‍ය හමුවේ මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ ෆයිසර් එන්නත් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් ඇති බවත් තාක්ෂණික කරුණු නොසලකා එම එන්නත් භාවිතය අනුමත කළ නොහැකි බවත්ය.

ෂෙනාල් ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසුවේය.

‘‘වෙනත් රටවල අනුගමනය කළ ක්‍රමෝපායන් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලාංකික ළමා රෝග විශේෂඥයින්ගේ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත සහ රටට ලැබුණු සීමිත ෆයිසර් එන්නත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන වයස අවුරුදු 12 ත් 18ත් අතර වයසේ පසුවන අවදානම් සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඇතුළු පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම ප්‍රමුඛතාවය දිය යුතුයි.

වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා අධි අවදානම් සහ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී ඇති තිබෙනවා. එම නිසා ළදරු මරණ අනුපාතය අඩු කිරීම සඳහා ඉලක්ක ගත වැඩ සටහනක් යටතේ තාක්ෂණික වශයෙන් නිවැරදි කණ්ඩායම් වලට මාත්‍රාව ලබා දිය යුුතුයි.

“මේ මොහොතේ පාසල් දරුවන්ට එන්නත ලබා දීම සඳහා ඇතුළත් කළ හැකියි. බහුලවම ලබා ගත හැකි සයිනෝෆාම් එන්නත වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ටත් ලබා දිය හැකියි. වඩාත් සුදුසු වයස් කාණ්ඩ එන්නත් කිරීම සඳහා තාක්‍ෂණිකව ලබා ගත හැක්කේ සීමිත ෆයිසර් මාත්‍රාවන් පමණක් වන අතර ඒ අනුව භාවිතා කළ හැකියි.

“සංචරණ සීමා පැනවීමේදී පමණක් රජය ආර්ථික හා සමාජයීය ගැටලු ගැන සලකා බලන බවක් පෙනෙනවා. නමුත් එන්නත ලබා දීමත් තනිකරම තාක්‍ෂණික කරුණක්. එම නිසා එන්නත වෙනස් කිරීම සඳහා සමාජයීය හා දේශපාලන කරුණු සලකා බැලිය යුතු නැහැ. එන්නත ලබා දීම පිළිබඳ තාක්ෂණික තීරණ ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්මික කමිටුව විසිනුයි. එම තීරණ වෙනත් කිසිදු හේතුවක් මත වෙනස් නොකළ යුතුයි‘‘

අපේ සමීක්‍ෂණයට අනුව, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් 300,000 ක් තවමත් එන්නතක් ලබාගෙන නැහැ. කෙසේ වෙතත්, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට නිසි පරිදි එන්නත් ලබා දීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය ඉලක්ක ගත වැඩ සටහනක් ප්‍රකාශයට පත් කර නැහැ. එම නිසා අනාගතයේදී එවැනි මාත්‍රාවක් ලබා නොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතර වැඩි මරණ අවදානමක් අපට දැකගත හැකි වෙයි‘ යැයි ද වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.