කොවිඩ් වලින් රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවයේ අය බේරා ගැනීමට දින 14ක නිවාඩුවක් ඉල්ලයි

කොවිඩ් වලින් රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවයේ අය බේරා ගැනීමට දින 14ක නිවාඩුවක් ඉල්ලයි

රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශ වලට අයත් ආයතන තුළ සේවයේ නියුතු පිරිස් අතර Covid-19 පැතිරීම වේගවත්ව ඇති බැවින් ඔවුන් හරහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද අනතුරට ගොඳුරුවිය හැකි බැවින් ඒ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍ර යන සියලූම අංශවල සේවයේ නියුතු පිරිස් අවම දින 14ක කාලයක් සේවයට කැඳවීම වළක්වමින් විශේෂ නියෝගයක් රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍ර ප්‍රධානීන් වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අයත් සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා උපාධිධාරී අභ්‍යසාලාභීන් විශාල පිරිසක් මේ වනවිට Covid-19 අසාධිතයින් බවට පත්ව ඇති අතර දිනපතා අසාධිතයින් බවට පත්වෙමින් පවතින බව වාර්තා වෙමින් පවතී.

එවැනි ආසන්නතම උදාහරණයක් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 යටතේ 2021.08.02 සිට ක්‍රියාත්මක වූ Covid-19 එන්නත්කරණ සමීක්ෂණය සඳහා ගෙවල්වලට ගොස් තොරතුරු ලබාගත් ක්ෂේත්‍ර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සැලකිය යුතු පිරිසකට අද වන විට Covid-19 වෛරසයට ගොඳුරුවීමට සිදුව ඇත. කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ නියෝගයක් අනුව සිදු කළ මෙම කටයුත්ත මේ මොහොතේ සුදුසු නොවන ක්‍රියාවක් බව අප සංගමය පෙන්වා දුන්නත් බලහත්කාරයෙන් නිලධාරීන් යොදවා මෙම සමීක්ෂණය සිදු කරන ලදි.

Covid-19 වෛරසය පැතිරීම වේගවත්ව පැවති මොහොතේ 2021.08.02 සිට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය 100% විවෘත කරන ලදි. එම තීරණයේ ප්‍රතිඵල දරුණු විය හැකි බවට වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශව පෙන්වා දුන් පසු එම චක්‍රලේකය සංශෝධනය කරන ලදි. ඒ අනුව සතියකට අවම දින 03 ක් නියම කළද ඇතැම් ආයතන ප්‍රධානීන් එය නොසලකා පසුගිය දිනවල සංවර්ධන නිලධාරීන්, ක්‍ෂේත්‍ර නිලධාරීන්, උපාධිධාරී අභ්‍යාසලාභීන් ඇතුළ රාජ්‍ය සේවකයින් කැඳවීම් කරන ලදි.

ඒ අතර 2021.08.11 දින සහිතව ජනාධිපති අතිරේක ලේකම් පාලන හා මෙහෙයුම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලූ අංශ ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම් දී කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අත්හිටුවන ලදි. එම තීරණය රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍ර සියලූ අංශවල සේවකයින් සඳහා පොදුවේ ක්‍රියාත්මක කිරීමට ඉඩ තිබුණි. එසේ වූයේ නම් Covid-19 වෛරසයට අලූතින් ගොඳුරුවීමේ ප්‍රමාණය පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමු. Covid-19 ව්‍යාප්තවීම හේතුවෙන් 2021.08.16 දින සිට රාජ්‍ය සේවයට අයත් දෙපාර්තමේන්තු කීපයක් වසා දමන බවට වාර්තා වුණි.

Covid-19 වෛරසය ව්‍යාප්තය හා වසංගය මෙවැනි අවිධිමත් ක්‍රමවේද හරහා පාලනය කිරීමට හා Covid තුරන් කිරීමට නොහැකි බව අපි පෙන්වා දෙන්නෙමු. මෙවැනි අවිධිමත් ක්‍රමවේද මඟින් සමස්ත වැඩ කරන ජනතාවම අනතුරට හෙලීමක් සිදුවන බව මේ වන විට පැහැදිලි වෙමින් පවතී.

බස්නාහිර පළාත තුල රාජ්‍ය ආයතන බොහෝ ප්‍රමාණයක හා පෞද්ගලික අංශයේ ආයතනවල පසුගිය දිනවල සේවයට වාර්තාකළ පිරිස් අතර රෝගය පැතිරීමක් පවතින බව අප වෙත ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වන බව සඳහන් කරමු. රටේ සෙසු පළාත් හා දිස්ත්‍රික්ක වල රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම වතුකරයේ ජනතාව අතර Covid-19 පැතිරීමේ වේගවත් බවක් පවතින බව දැන ගැනීමට ඇත.

රට විවෘතව තබා ගැනීමේ අරමුණ ආර්ථිකය පත්වාගෙන යාම නම් රටේ රාජ්‍ය පෞද්ගලික හා වතු ක්‍ෂේත්‍ර ජනතාව දිගින් දිගටම Covid-19 ආසාධිතයින් වීම තුළ එම අපේක්ෂිත අරමුණු කරා ළඟාවීම දුෂ්කර බව ද පෙන්වා දෙන්නෙමු.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් පහත සඳහන් ඉල්ලීම ආණ්ඩුවෙන් සහ වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ඉල්ලීම:-  රාජ්‍ය, පෞද්ගලික හා වතු අංශ වලට අයත් ආයතන තුළ සේවයේ නියුතු පිරිස් අතර Covid-19 පැතිරීම වේගවත්ව ඇති බැවින් ඔවුන් හරහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද අනතුරට ගොඳුරුවිය හැකි බැවින් ඒ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍ර යන සියලූම අංශවල සේවයේ නියුතු පිරිස් අවම දින 14ක කාලයක් සේවයට කැඳවීම වළක්වමින් විශේෂ නියෝගයක් රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍ර ප්‍රධානීන් වෙත නිකුත් කරන මෙන් ඉල්ලා සිටිමු.