රෝහල් වල පරිපාලන වෛද්‍ය නිලධාරි තනතුරු 165ක් පුරප්පාඩු වෙලා

රෝහල් වල පරිපාලන වෛද්‍ය නිලධාරි තනතුරු 165ක් පුරප්පාඩු වෙලා

පරිපාලන වෛද්‍ය ශ්‍රේණියේ නිලධාරීන්ගේ තනතුරු 326 න් 165ක් පුරප්පාඩු වී ඇති අතර එය මුළු තනතුරු වලින් 50.6% ක් බවත් ස්ථීර ප්‍රධානීන් නොමැතිව රෝහල්වල පරිපාලන කටයුතු සැලකිය යුතු ලෙස අකාර්යක්ෂමව සෞඛ්‍ය සේවා සැපයුම අවුල් සහගත තත්වයකට පත් ඇති වී තත්ත්වයක් තුළ වහාම ඒ සඳහා ස්ථීර පත්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරය වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, රජයේ රෝහල්වල පරිපාලන වෛද්‍ය නිලධාරී ශ්‍රේණි සඳහා තනතුරු 326 ක් ඇත්. එම තනතුරු වලින් 205ක් නියෝජ්‍ය පරිපාලන වෛද්‍ය ත්නතුරු වන අතර 121 ජේෂ්ඨ පරිපාලන වෛද්‍ය නිලධාරී ත්නතුරු වලට අයත් වේ. මේ වන විට නියෝජ්‍ය පරිපාලන වෛද්‍ය තනතුරු 205 න් 83 පුරප්පාඩු වී ඇත්. ජේෂ්ඨ පරිපාලන තනතුරු 121න් තනතුරු 82 ක් පුරප්පාඩු වී ඇත. මේ අනුව බැලූවිට පරිපාලන වෛද්‍ය නිළධාරී තනතුරු 326 න් 165ක් පුරප්පාඩු වී ඇති අතර එය මුළු තනතුරු වලින් 50.6% කි.

මෙම තනතුරු අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන අධයක්ෂ තනතුරු, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ තනතුර, පළාත් මහ රෝහල් ගණනාවක අධ්‍යක්ෂ තනතුරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුරු, දිස්ත්‍රික් මහ රෝහල් ගණනාවක අධ්‍යක්ෂ තනතුරු සහ රෝහල් විශාල ප්‍රමාණයක නියෝජ්‍ය අධයක්ෂ තනතුරු ගණනාවක්, රෝග මර්ධන ඒකක ගණනාවක අධ්‍යක්ෂ තනතුරු සහ මූලික රෝහල් විශාල ප්‍රමාණයක වෛද්‍ය අධිකාරි තනතුරු ඇතුළත් වේ.

එසේම කොවිඩ් මර්දනයේදී සැළකියුතු කාර්යභාරයක් ඉටුකරන වෛද්‍ය පර්යේෂණ ආයතනය, මුල්ලේරියාව රෝහල, නැගෙනහිර කොළඹ මූලික රෝහල, ජාතික බෝවන රෝග විද්‍යායතනය යන ආයත්න මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ ද මේ වන විට ස්ථීර ආයතන ප්‍රධානින් නොමැත.

ඉතිහාසය තුළ කිසඳු කාලයක මෙත්රම් පරිපාලන වෛද්‍ය තනතුරු ප්‍රමාණයක් පුරප්පාඩු වී නොමැත. ස්ථීර ප්‍රධානීන් නොමැතිව එම ආයතන වල පරිපාලන කටයුතු සැලකිය යුතු ලෙස අකාර්යක්ෂමව සෞඛ්‍ය සේවා සැපයුම අවුල් සහගත තත්වයකට පත් වී ඇත. පවතින කොවිඩ් වසංගතයට මුහුණදීම සඳහා සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු මොහොතක මෙකී තනතුරු පුරප්පාඩුව පැවතීම අතිශය බරපතල තත්වයකි.

සෞඛ්‍ය ලේකම්වරයා ලෙස එම තනතුරුවල පුරප්පාඩු පිරවීමේ වගකීම ඇත්තේ ඔබටය. එබැවින් අදාල තනතුරු 165 සඳහා දැනට සුදුසුකම් සපුරා සටින නිලධාරීන් පත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා සටිමු.