පුද්ගලික අංශයේ සේවකයිගේ අර්බුදය ගැන වෘත්තිය සමිති 18ක් කම්කරු අමාත්‍යවරයාට ලියයි

පුද්ගලික අංශයේ සේවකයිගේ අර්බුදය ගැන වෘත්තිය සමිති 18ක් කම්කරු අමාත්‍යවරයාට ලියයි

කොවිඩ් -19 වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට ලංකා බැංකු සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති 18ක් එක්ව ලිපියක් යොමු කරමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙලෙස දැනුවත් කර ඇත.

කොරෝනා වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධවයි

කොරෝනා වසංගතය අද වනවිට මෙරට තුළ වඩාත් සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇත. ආණ්ඩුවේ අදූරදර්ශී පරිපාලනය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා මෙය තවතවත් තීව්‍ර වෙමින් මහත් ව්‍යසනයක් බවට පත්වෙමින් ඇත. ආණ්ඩුව විසින් නිවැරදි මොහොතේ ගත යුතු තීරණ ඒ මොහොතේ නොගැනීමේ වන්දිය මෙරට ජනතාවට අද වනවිට භුක්ති විඳීමට සිදුව ඇත. සෞඛ්‍ය අංශයේ දැඩි බලපෑම හමුවේ සංචරණ සීමා පැනවීමට ආණ්ඩුව කටයුතු කළද ඇගළුම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරිත්වයට එම සංචරණ සීමා අදාළ නොවීම නිසා සංචරණ සීමා පැනවීමෙන් වසංගතය මර්දනය සඳහා සෞඛ්‍ය අංශයේ වැඩපිළිවෙළ සාර්ථක වේදැයි සැකයක් මතුවී ඇත.

02. පෞද්ගලික අංශයේ ප්‍රධාන කර්මාන්තශාලා ගණනාවක කොරෝනා ආසාධිතයන් විශාල වශයෙන් වාර්තා වී ඇති අතර අද වනවිට සැලකිය යුතු ගණනක් මෙම රෝගය නිසා මිය ගිහින් ඇත. මෙසේ ආසාධිතයින් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම මගින් පෙනියන්නේ එම ආයතන පවත්වාගෙන යාමේ දී කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් භාවිත කර නොමැති බවයි. ඒ අනුව එම ආයතන වල සේවකයන් මෙම වසංගතය සඳහා ගොදුරු කරවීම සම්බන්ධයෙන් ආයතන හිමිකරුවන් වගකිව යුතු වේ. විශේෂයෙන් වාර්තාවන තොරතුරු අනුව රෝග ලක්ෂණ තිබෙන සේවකයන් පවා සේවා මුරය සඳහා කැදවීම, ආසාධිතයකු වාර්තා වුවත් අනෙක් සේවකයන් සේවා මුරය සඳහා කැදවමින් ආයතන පවත්වාගෙන යාම හරහා විශාල ප්‍රමාණයක් මෙම රෝගය සඳහා ගොදුරු වී ඇත. එමෙන්ම වසංගතය ආරම්භයේදි අනුගමනය කළ සේවා මුර ක්‍රමය මේ වන විට අත්හැර දමා ඇත.

03. එලෙස ආයතන හිමිකරුවන් සේවක ජීවිත පිළිබඳව කිසිදු සැලකිල්ලකින් තොරව තම ලාභය
පමණක් ඉලක්ක කරමින් කටයුතු කරන තත්වයකදී ආණ්ඩුව විසින්ද ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රමවේද සකස් කිරීම බරපතළ ගැටලුවකි. සංචරණ සීමා යොදන කාලසීමාවල පවා ආසාධිතයින් පොකුරු වශයෙන් බිහිවන පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම මගින් මෙම රෝගය මර්දනය සඳහා කටයුතු කරනවා වෙනුවට ආයතන හිමිකරුවන්ට වසංගත සමය තුළදීද ලාභ ගොඩගැසීම සඳහා අවස්ථාව ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනී යයි. මේ නිසා සංචරණ සීමා කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ආයතන පවත්වාගෙන යාමට අනුමැතිය ලබාදීමට අපි දැඩි විරෝධය පළ කරන්නෙමු.

04. තවද කම්කරු ඇමතිවරයා ලෙස ඔබතුමන් පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන්ට අඩ වැටුප් ගෙවීමට අනුමැතිය ලබාදීමද මෙම වැඩපිළිවෙළේම එක් කොටසක් බව පැහැදිලිය. සංචරණ සීමා මධ්‍යයේ මෙන්ම රෝගීන් වාර්තා වී තිබියදීත් ආයතන පවත්වාගෙන යාමට විරුද්ධව මතුවන සේවක විරෝධය මෙම අර්ධ වැටුප් ක්‍රමවේදය විසින් යටපත් කරයි. ඒ අනුව මෙලෙස රෝගය රට තුළ ව්‍යාප්තවීම සඳහා වත්මන් ආණ්ඩුව මෙන්ම කම්කරු ඇමතිවරයා ලෙස පෞද්ගලිකව ඔබතුමන්ද වගකිව යුතු බව අපි අවධාරණය කරන්නෙමු.

05. තවද වසංගතය හමුවේ එන්නත්කරණ වැඩපිළිවෙළ තුළද ගැටලු ගණනාවක් පවතින බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය විය. විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් වල බලපෑම් අනුව මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ සිදුවන අතර ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සකස්විය යුතු ජාතික වැඩපිළිවෙළක් තවමත් සකස් වී නොමැත.

06. කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කමින් බිලියන ගණන් ලාභ ගොඩ ගසමින් සිටින සමාගම් හිමිකරුවන්ට මෙවන් ගෝලීය වසංගතයකදීවත් තමන්ගේ ලාභ පිපාසය වෙනුවට තම ආයතනයේ සේවකයන්ට මාසයක, දෙකක වැටුපක් ලබා දී වසංගතය මර්දනය කිරීමට සහාය ලබාදීමට නොහැකි වීම තුළින් ඔවුන්ගේ නිර්දය ශ්‍රම සූරාකෑම සියලුදෙනාට පැහැදිලි වේ. කෙසේ නමුත් කම්කරු ඇමතිවරයා ලෙස ජනතා ඡන්දයෙන් පත්වූ ඔබතුමා ඇතුළු වත්මන් ආණ්ඩුවද සමාගම් හිමිකරුවන්ගේ අවශ්‍යතාවයට අනුව වැඩ කිරීම අපි හෙළා දකින්නෙමු. මේ නිසා පහත තීරණ සදහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි බලකරන්නෙමු.

1. අඩ වැටුප් ගෙවීමට අවසර ලබාදීමේ තීන්දුව වහාම නිවැරදි කිරීම.
2. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කිරීමෙන් තොරව පවත්වාගෙන යන ආයතන වලට වහාම නීතිය ක්‍රියාත්මක කිරීම.
3. සෞඛ්‍ය නිර්දේශ මත යොදන සංචරණ කාලසීමාව තුළ පෞද්ගලික අංශයේ ආයතනවල සියලු සේවකයන්ටද පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාදීම.
4. එන්නත්කරණය සිදු කළ යුතු සියලුම ජනතාව එන්නත්කරණය සඳහා ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් සකස් විය යුතු අතර එහිදී වසංගතයට විශාල ලෙස ගොදුරු කර ඇති පෞද්ගලික අංශයේ සේවකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම.

This image has an empty alt attribute; its file name is podu-lipiya-1.jpg

This image has an empty alt attribute; its file name is podu-lipiya-2.jpg