බැංකු විරෝධතා මහා සම්මේලනය දෙසැම්බර් 2 විහාරමහාදේවී උද්‍යානයේදී

බැංකු විරෝධතා මහා සම්මේලනය දෙසැම්බර් 2 විහාරමහාදේවී උද්‍යානයේදී

ආණ්ඩුවේ ජනතා විරෝධි තීරණවලට එරෙහි බස්නාහිර පළාත් බැංකු සේවක මහා සම්මේලනය 2023 දෙසැම්බර් මස 02 වෙනි දින පෙ.ව. 9.00 සිට කොළඹ විහාර මහා දේවි එළිමහන් රංගපීඨයේ දී පැවැත්වන බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2024 වර්ෂය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද අය වැය යෝජනා තුළින් ඉදිරිපත් කර තිබූ බොහෝ ජනතා විරෝධි සැළසුම් අතර රටේ ආර්ථික මර්මස්ථානවන ලංකා බැංකුවේත්, මහජන බැංකුවේත් 20% ක කොටස් ප්‍රමාණයක් උපායමාර්ගික ආයෝජනයන් සඳහා යැයි පවසමින් ව්‍යාපාරික හිතවතුන්ට විකුණා දැමීම ද ඇතුළත් කොට ඇත. එසේම අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව යැයි පවසමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් බැංකු ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් තුළ මෙතෙක් ක්‍රියාත්මකව තිබූ සියලුම ආකාරයේ සාමූහික ගිවිසුම් නැවත අලුත් කිරීම හෝ නව ගිවිසුම්වලට එළඹීම තහනම් කොට ඇත.

එබැවින්,

■ රාජ්‍ය බැංකු විකිණීම

■ සාමුහික ගිවිසුම් තහනම

■ අසාධාරණ බදු අයකිරීම්

■ කම්කරු නීති කප්පාදුව

■ මර්දනීය අණ පනත් සහ

■ සේවක අරමුදල් කොල්ලකෑම

යන ආණ්ඩුවේ කම්කරු විරෝධී සහ ජනතා විරෝධි ක්‍රියාවලට එරෙහිව පළාත් මට්ටමින් දිවයින පුරා විරෝධතා මහා සම්මේලන මාලාවක් පැවැත්වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර ඇත.

එහි පළමු මහා සම්මේලනය බස්නාහිර පළාත ආවරණය වන පරිදි කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල සාමාජිකත්වයේ සහභාගීත්වයෙන්, 2023 දෙසැම්බර් මස 02 වෙනි දින පෙ.ව. 9.00 සිට කොළඹ විහාර මහා දේවි එළිමහන් රංගපීඨයේ දී පැවැත්වේ.