රු.20,000ක දීමනාව පුද්ගලික අංශයටත් අවශ්‍යයි!

රු.20,000ක දීමනාව පුද්ගලික අංශයටත් අවශ්‍යයි!

මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රු.20,000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසයි.

අන්තර් සේවක සංගමයේ සභාපති, වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, එවැනි දීමනාවක් ලබානොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවයි.

"අමතක නොකර මේ ඉල්ලීමට කන්දෙන්න. එහෙම නොවුණොත් අපි 13 පාර්ලිමේන්තුව ඉදිරිපිටට එනවා. රටේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ කටයුතු කරනවා."

මේ අතර ලංකා වැවිලි සේවා සංගමයේ, සමස්ත ලංකා නියෝජ්‍ය සභාපති එස්.චන්දිරන් මහතා පවසා සිටියේ, ලංකාවේ අසරණම තත්ත්වයට පත්ව ඇත්තේ වතු කම්කරුවන් බවයි.

අවම වශයෙන් රු 2000ක දීමනාවක් ලබාදීමට හෝ කටයුතු කරන මෙන් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටී. 

මේ අතර රුපියල් 20,000ක දීමනාව ලබාගැනීම වෙනුවෙන් අරඹා ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී වෘත්තිය සමිති එකමුතුව විසින් පසුගිය 10 වෙනි දින සිදුකරනු ලැබිණි.

මේ අතර වෘත්තිකයින්ගේ ඉවසීම නිවටකමක් ලෙස නොසලකා අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය පියවරගත යුතු බව වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසයි.

ඒ එම සංගමය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් අතර පැවැති හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව කියා සිටියේය.

උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ මුදල් අමාත්‍යාංශ ලේකම් අතර හමුවක් ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.