2016 සිට 2019 වසර දක්වා විශ‍්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ට හිමි විශ‍්‍රාම වැටුප අහිමි කිරීම අසාධාරණයි

2016 සිට 2019 වසර දක්වා විශ‍්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ට හිමි විශ‍්‍රාම වැටුප අහිමි කිරීම අසාධාරණයි

2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 3/2016 හි උපලේඛන 1 අනුව 2020.01.01 දිනට හිමි සම්පූර්ණ වැටුප පදනම් කර විශ‍්‍රාම වැටුප ගෙවීමට 2019.11.11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 35/2019 නමින් 2019.12.10 දිනැතිව චක‍්‍රලේඛයක් නිකුත් කරන ලදී.
රාජ්‍ය සේවක වැටුප 2016 සිට එකවර ගෙවීමක් සිදු කලා නම් මෙවැනි තත්වයක් ඇති නොවන අතර අවස්ථා පහකදී ලබා දීම නිසා මෙම තත්වය උද්ගත වී ඇත. එහෙත් 2020 න් පසු විශ‍්‍රාම යන නිලධාරියෙකුට මෙම වැටුප ලබා විශ‍්‍රාම යාමේ හැකියාවක් පවතී.

රාජ්‍ය විශ‍්‍රාමිකයාට හිමි විශ‍්‍රාම වැටුප ලබා දීමේ 2019.12.10 දිනැති 35/2019 චක‍්‍රලේඛයෙහි විධි විධාන අත්හිටුවීමට 2020.01.02 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කල බවට 35/2019(1) වශයෙන් 2020.01.20 දිනැතිව රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙමගින් 2016 සිට 2019 දක්වා වසර හතරකදී විශ‍්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ හිමිකමක් අහිමි කර ඇති නිසා 2020.02.19 දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කරන ලදී. එහිදී වෘත්තීය සමිති නායකයන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හමුවීමේ අවස්ථාව උදාවිය.

එහිදී හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා අදහස් දක්වමින් කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී වෘත්තීය සමිති සමග කරන ලද සාකච්ඡා එකඟතාවයද මෙයට බලපෑ අතර මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කලේ මුදල් නොමැති නිසා මෙය ගෙවීමට හැකියාවක් නොමැති බවයි. එහිදී වෘත්තීය සමිති පෙන්වා දුන්නේ මුදල් නොමැතිනම් උපාධිධාරීන් 50000 ක් සහ වෙනත් සේවාවන් සඳහා ලක්ෂයක බලකායක් රාජ්‍ය සේවයට බදවාගෙන වැටුප් ගෙවන්නේ කෙසේද යන්නයි.

එමෙන්ම ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛ දෙකම වැරදි බව සමිති විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව 35/2019 චක‍්‍රලේඛයේ සදහන් රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප් සංශෝධනය - 2016 යන යෙදුම වැරදි බවත් මෙහි කිසිදු වැටුප් සංශෝධනයක් නැති බවත් හිමිකමක් පමණක් බවත් සමිති පෙන්වා දෙන ලදී.

එමෙන්ම අමාත්‍යවරයා මේ ගැටළුව ඉදිරි අයවැයේ දී විසදන බව ප‍්‍රකාශ කලත් ලේකම්වරයාගේ 35/2019(1) චක‍්‍රලේඛයේ සදහන් වන්නේ ඉදිරි අයවැය වලදී විසදන බවයි.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මේ සියළු කාරනා පිළිබද අවධානය යොමු කර වැරැද්දක් සිදු වී ඇති බවත් ඒ පිළිබද කණගාටු වන බවත් ඉදිරි අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර තීරණයක් ගන්නා බවත් ප‍්‍රකාශ කලා.

අමාත්‍යවරයාගේ එම අදහස මෙවර අය වැය තුල දක්‍නට නොලැබෙන අතර අසාධාරණයට ලක්වූ මෙම රාජ්‍ය නිලධාරීන්ට වහාම ඔවුන්ට හිමි විශ‍්‍රාම වැටුප ලබා දීමට කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට පිවිසීමට සිදුවන බවත් දන්වා සිටිමු.

සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය