ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට

ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට

ගුරු වෘත්තීය සමිති හා ජාතික අධ්‍යාපන ආයතනය භාර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ සම්බන්ධයෙන් 2020.10.23 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සහභාගි විය.

මෙම සාකච්ඡාවේදී ලංකා ගුරු සංගමය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළ විෂයමාලා, ගුරු අත් පොත් සම්පාදනය ඇතුළු අධ්‍යාපනයේ තීරණාත්මක කාර්ය භාරයක් සිදුකරන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය තුළ පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලිය සම්බන්ධව අත්දැකීම් ලබාගත් පිරිස ඉතා අවම බවත්, උපාධියක් ලබාගැනීමෙන් හා ජාතික අධ්‍යාපන ආයතනයේ පාඨමාලා හැදෑරීමෙන් තම සුදුකම් සපුරාගත් පිරිසක් විසින් මෙම කටයුතු සිදු කිරීම තුළින් මෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ ඇති ආවේණික දුර්වලතා මත අධ්‍යාපනය බරපතල කඩාවැටීමක් ලක්වීමට හේතු වී ඇති බවත්ය. ඊට හේතු වී ඇත්තේ අධ්‍යාපන පද්ධතිය තුළ අත්දැකීම් බහුල දක්ෂ ගුරුවරු, විදුහල්පතිවරු සහ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ජාතික අධ්‍යාපන ආයතනයේ තනතුරකට පැමිණීමේදී ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප අහිමි වීම තුළ එම නිලධාරීන් මේ සඳහා ඉදිරිපත් නොවීමයි. මෙම සාකච්ඡාවේදී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වලරයා සහ අමාත්‍යවරයා එම කරුණු පිළිගත් අතර, ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීමට එකඟ විය.

එසේම 2019 වසරේ ජනවාරි මස පත්වීම් ලැබිය යුතු විද්‍යාපීඨ අවසන් විභාගය අවසන් කර සිටින ගුරු සිසුන්ට මේ දක්වා ගුරු පත්වීම් ලබාදීමට නොහැකි වී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයේ ප‍්‍රමාදය හේතුවෙන් බව ද මෙහිදී ලංකා ගුරු සංගමය පෙන්වා දුන් අතර, එම පත්වීම් කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාවය හා පවතින ගුරු හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ විශ්ව විද්‍යාලවල පීඨ බවට පත් කිරීම නොකළ යුතු බව පෙන්වා දුන් ගුරු සංගම් නියෝජිතයන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ ගුරු අධ්‍යාපනය සඳහා ම මෙම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙන් වී තිබීමේ අවශ්‍යතාවයයි. එසේම පුහුණු උපාධිධාරී ගුරුවරයෙකු බිහි කිරීමට අධ්‍යාපන ආයතන පනතට අනුව හැකි බවත්, ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ හරහා උපාධියක් පිරිනැමීමට හැකි බවත් පෙන්වා දුන් අතර, එම පනතට අනුව උපාධි ලබාදීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සම්බන්ධයෙන් මේ දක්වා විෂය අධ්‍යක්ෂවරු, ගුරු උපදේශකවරු පත්කර නොතිබීම පිළිබඳව ද මෙහිදී පෙන්වා දුන් අතර, ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටින ලදී.

යුනෙස්කෝ සංවිධානයේ ආධාරයෙන් දකුණු ආසියාවේ ප‍්‍රධානම ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ලංකාවේ පිහිටුවීමට තීරණය කළ අතර, එය මුල්ගලකට පමණක් සීමා වී ඇති තත්වය පෙන්වා දෙන ලදී. ඒ සම්බන්ධයෙන් පවතින ගැටලූවලට පිළියම් යොදා කඩිනමින් එය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන බවට මෙම සාකච්ඡාවේදී එකඟ වන ලදී.

ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව විදුහල්පතිවරු උසස්වීම් ලබාගැනීමේදී කළමනාකරණ ඩිප්ලෝමාවක් (DSM) හා පශ්චාත් උපාධි කළමනාකරණ ඩිප්ලෝමාව (PGDM) ලබාගත යුතු බව සඳහන් වී ඇති අතර, එම පාඨමාලා පැවැත්වෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින් බව පෙන්වා දෙන ලදී. මේ වන විට 7000 කට වැඩි විදුහල්පතිවරුන් මෙම පාඨමාලා හැදෑරීමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා අවශ්‍ය ධාරිතාව ද ජාතික අධ්‍යාපන ආයතනයේ නොමැති බව පෙන්වා දෙන ලදී. ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන පිහිටුවා එම පාඨමාලා පැවැත්වීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදී. එසේම එම පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ද අප විසින් ඉල්ලා සිටින ලදී.

ජාතික අධ්‍යාපන ආයතනය ආර්ථිකමය ප‍්‍රතිලාභ අත්කර ගැනීමේ අධ්‍යාපනයක් ඉලක්ක කර විෂය මාලා සකස් කිරීම වෙනුවට සාමාන්‍ය අධ්‍යාපනය තුළ සමබර පෞරුෂයකින් යුත් පුද්ගලයෙක් බිහි කිරීම අරමුණු කර ගෙන විෂයමාලා සකස් කළ යුතු බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

කෝවිඩ් 19 තත්වය තුළ 2020 මාර්තු 12 පාසල් වැසීමෙන් පසු පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් ජාතික අධ්‍යාපන ආයතනයෙන් සම්පාදනය කිරීමේදී සිදුකර ඇති වැය පිළිබඳව හා එහි ඵලදායීතාවය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින ලදී.

ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ වන විට කර ඇති පර්යේෂණ මොනවාද යන්නත් ඒ පිළිබඳ තොරතුරුත් සමාජ ගත කරන ලෙස ද අප විසින් ඉල්ලා සිටින ලදී. එසේම ලංකාවේ ගුරු විදුහල් 24 ක් පැවති අතර දැනට කි‍්‍රයාත්මක වන්නේ ගුරු විදුහල් 7 ක් බවත් පෙන්වා දුන් අතර, එම වැසීගිය ගුරුවිදුහල් ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් භාවිතා කිරීමට ක‍්‍රමවේදයක් යොදා ගන්නා ලෙස ද ඉල්ලා සිටින ලද අතර, මෙම කරුණු ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනයට අදාළ කටයුතු සම්බන්ධව පවතින ගැටලූ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.