කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් කෙරෙහි බලපාන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.
අනිවාර්ය ස්වයං නිරෝධායනය වෙත යොමු කරනු ලැබ ඇති සේවකයන්ට හදිසි සහන සලාක, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ලබා දීම, මෑන්පවර් කම්කරුවන් ද ඇතුළුව COVID-19 නිසා රැකියා අහිමිවූ හෝ රැකියා කිරීමට නොහැකිව සිටින නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවන් සඳහා රුපියල් 10,000 සෞඛ්‍ය දීමනාවක් ලබා දීම ඉහත කී සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීම්වලට ඇතුළත් වේ.
ඉහත කී සංවිධාන සහ වෘත්තීය සමිති විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන සෙසු ඉල්ලීම්:
ලංකා බැංකු සේවක සංගමය (CBE), ලංකා වෘත්තීය සමිති සම්මේලනය (CFTU), ලංකා කාර්මික සේවක සංගමය (CIWU), ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU), ලංකා ගුරු සංගමය (CTU), දාබිඳු සාමූහිකය, කටුනායක විමුක්ති ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS), ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), කටුනායක ශ්‍රමාභිමානී කේන්ද්‍රය, සීදූව ලංකා නැගී සිටිමු ව්‍යාපාරය සහ කටුනායක එක්සත් කම්කරු සංගමය (UFL) යන වෘත්තීය සමිති සහ සංවිධාන අදාළ ලිපියට අත්සන් තබා ඇත.
ශ්‍රී ලංකාවේ COVID-19 දෙවෙනි අදියරේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දහස් ගණනක් කම්කරුවන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පවසන වෘත්තීය සමිති සහ සංවිධාන මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආරම්භ වූ විශාල පොකුර මේ වන විට කටුනායක ඇතුළු අනෙකුත් නිදහස් වෙළෙඳ කලාප (FTZ) වෙත වේගයෙන් ව්‍යාප්ත වී ඇති බව ඉහත කී ලිපියේ දක්වා ඇත.
“හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල දැනට නිරෝධායනය කරනු ලබන කම්කරුවන් 1000 කට වැඩි පිරිසකට අමතරව, බොහෝ කම්කරුවන්ට තම නේවාසිකාගාර සහ බෝඩිං ස්ථාන තුළ ස්වයං නිරෝධායනය වන ලෙස පවසා තිබේ,” යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.
වැඩිදුරටත් කරුණු දක්වන එම සංවිධාන සහ වෘත්තීය සමිති, “කම්කරුවන් නවාතැන්වලින් ඉවතට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට නේවාසිකාගාර හිමියන්ට පොලීසිය විසින් අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, මෙම කම්කරුවන්ට නිසි පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දී නොමැති නිසා, ඔවුන්ට ආහාර සහ ඖෂධ ඇතුළු මූලික අත්‍යවශ්‍ය දෑ ගබඩා කර ගැනීමට නොහැකි වී ඇති අතර, එබැවින් ඔවුහු දිවි ගලවා ගැනීමේ අරගලයක නියැලී සිටිති,” යනුවෙන් ද පවසති.
“මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ඉස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා දෙන දෙයක් කාලා ඉන්න තිබුණා. දැන් අපිට කර කියාගන්න දෙයක් නෑ. වැඩ තියෙයි කියලා හිතාගන්නවත් බෑ. බෝඩිමෙන් එළියට යන්නත් නෑ. හැමදාමත් කාමරයෙන් කාමරේ අනිත් අයගෙන් මොනව හරි ඉල්ගෙගෙන කන්න තමයි වෙලා තියෙන්නේ. දැන් දැන් අනිත් අය කාමරේ දොරවල් අරින්නෙත් නැහැ. ඇත්තටම ඒ ළමයින්ටත් නැතිකොට කොහොමද තවත් උන්ව බලාගන්නේ. ගෙදර යන්න විදිහකුත් නැහැ. කවුරුවත් අපි බාර ගන්න ලෑස්ති නැහැ .මෙහෙම ගියොත් වහ ටිකක් කන්න තමයි වෙන්නේ,” කටුනායක ඇවරිවත්තේ ස්වයං නිරෝධායනයේ සිරවී සිටින මෑන්පවර් සේවකයෙකු පැවසුවේ යයි ලිපියේ වැඩිදුරටත් දැක්වේ.
නිවසේ සිට ස්වයං නිරෝධායනය
මේ අතර කෝවිඩ්-19 රෝගය රට පුරාම පැතිර යමින් පැවතීම හමුවේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති නවතම පියවර කිහිපයක් ආණ්ඩුව නිවේදනය කර තිබේ.
මාධ්‍ය අමතා අදහස් දක්වමින්, කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ, කෝවිඩ්-19 ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයින් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ නමුත් මෙවක් පටන් කෝවිඩ් ආසාදිතයන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන බවය.
ඒ අනුව මින් ඉදිරියට සිය නිවසට වී නිරෝධනය කටයුතු වල යෙදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
දුර ගමන් බස් සේවා අත්හිටුවේ
කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය ඔක්තෝම්බර් 26 සඳුදා සිට යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග කොළඹ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.
“දැනට කොළඹ පවතින තත්ත්වය හේතුකොට ගෙන කොළඹට පැමිණෙන දුරගමන් සේවා ගමන්වාර අවලංගු කිරීමට සෞඛ්‍ය අංශවලින් අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ කොළඹට එන දුරගමන් සේවයක් තිබුණානම් ලංගම සහ පෞද්ගලික බස්රථ ඒවා ගමන් ආරම්භයේ සිටම පිටත් වෙන්නේ නෑ,” යනුවෙන් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මූලාශ්‍රය – බීබීසී/සන්දේශය
