ගාල්ල කරාපිටිය රෝහලේ රසායනාගාරයට සියලු පහසුකම් වහා ලබාදෙන්න

ගාල්ල කරාපිටිය රෝහලේ රසායනාගාරයට සියලු පහසුකම් වහා ලබාදෙන්න

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස විද්‍යා ඒකකයේ කොවිඩ්-19 පී.සී.ආර් (PCR) පරීක්ෂණ ප්‍රතිපල ප්‍රමාදවීම හමුවේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නම් පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිඵල කඩිනම්ව ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු අතර ඒ සදහා කල පරීක්ෂණාගාර සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයා එහි කාර්ය්‍ය මණ්ඩලය දිරිගැනවමින් කටයුතු කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස විද්‍යා ඒකකයේ කොවිඩ්-19 පී.සී.ආර් (PCR) පරීක්ෂණ ප්‍රතිපල ප්‍රමාදවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සම්බන්ධවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිහිටි වෛරස විද්‍යා ඒකකය ගාල්ල මාතර හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක මෙන්ම ඇඹිලිපිටිය හා කළුතර ප්‍රදේශවලටද සේවා සපයන දකුණු පළාතේ පිහිටි එකම වෛරස විද්‍යා ඒකකය වෙයි. මේ ඒකකය ආරම්භ කල මොහොතේ සිට ඩෙංගු, හෙපටයිටිස් බී, එච්.අයි.වී, ඉන්ෆ්ලුවෙන්සා, රේබීස් ( Dengue, Hepatitis B, HIV, Influenza and Rabies ) ඇතුළු වෛරස් රෝග විශාල ප්‍රමාණයක් සඳහා පරීක්ෂණ සිදු කරමින් මෙම ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් සුවිශේෂී සේවාවක් සපයන ලද ආයතනයකි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පැමිණීමට පෙර විවිධ වෛරස් රෝග හදුනාගැනීම සදහා සාමාන්‍යයෙන් සතියකට පී.සී.ආර්. (PCR) පරීක්ෂණ, වේගවත් පරීක්ෂණ (Rapid test) සහ ප්‍රතිදේහ ජනක හා ප්‍රතිදේහ හදුනා ගැනීමේ පරීක්ෂණ ඇතුළත්ව සතියකට පරීක්ෂණ 500 ක පමණ ප්‍රමාණයක් සිදු කරමින් සිටියහ. පසුගිය කාලය තුළ මෙරට කොවිඩ්-19 රෝගය හිස එසවූ පළමු අවස්ථාවේ සිට අද දක්වා කොවිඩ්-19 පී.සී.ආර්. (PCR) පරීක්ෂණ 36,000 ක පමණ ප්‍රමාණයක් සිදු කර තිබේ. එය සැළකිය යුතු සුවිශේෂී තත්ත්වයකි. දිනකට සිදුකරන සාමාන්‍ය පරීක්ෂණ වලට අමතරව පී.සී.ආර්. (PCR) පරීක්ෂණ 200-250 ක් පමණ උපරිම වශයෙන් සිදු කිරීමට එකඟතාවය මත මෙම කොවිඩ්-19 පරීක්ෂණ ආරම්භ කළ නමුත් දැනට දිනකට කොවිඩ්-19 පරීක්ෂණ හත්සියයක් පමණ ප්‍රමාණයක් සිදු කිරීම එම කාර්යය මණ්ඩලයේ උනන්දුව කැපවීම මොනවට පැහැදිලි කරවයි.

මාතර හා හම්බන්තොට පිහිටුවා ඇති කොවිඩ්-19 ආසාදිතයන් සදහාම වෙන්කල රෝහල් ද්විත්වයෙන් පමණක් දිනකට සාම්පල 400 ක් පමණ ලැබේ. ඊට අමතරව සමාජය තුල සිටිනා සැක සහිත පුද්ගලයන්ගෙන් ලබාගන්නා සාම්පලද අති විශාල ප්‍රමාණයක් ආසන්න වශයෙන් 1000 පමණ ප්‍රමාණයක් දෛනිකව මෙම ඒකකය වෙත රැගෙන එනු ලැබේ. මේ සියල්ල සිදුකිරීම සඳහා මෙම ආයතනය සතුව ඇත්තේ පී.සී.ආර් යන්ත්‍ර දෙකක් පමණි. එක් යන්ත්‍රයකට වරකට සාම්පල උපරිම 96 ඇතුළත් කළ හැකි අතර අනෙක් යන්ත්‍රයට ඇතුළත් කර ඇත්තේ උපරිම සාම්පල 72ක් පමණි. මේ සියලුම තත්වයන් මත දිනකට කොවිඩ්-19 පරීක්ෂණ හත්සියයක් පමණ ප්‍රමාණයක් සමගින් මින් පෙර කරන ලද සියලුම සාමාන්‍ය පරීක්ෂණ කඩිනම්ව සිදුකර දීමට එහි කාර්ය්‍ය මණ්ඩලය ඉතාමත් ධෛර්ය සම්පන්නව කටයුතු කරමින් සිටී. ගැටළුව වන්නේ පැය 24 පුරාම අඛණ්ඩව (දිනකට වට 6-8 අතර ප්‍රමාණයක්) ක්‍රියාත්මක මෙම පී.සී.ආර්. (PCR) යන්ත්‍ර හදිසියේ අකර්මන්‍ය වීමක් සිදුවුවහොත් භාවිතයට ගතහැකි වෙනත් විකල්ප කිසිවක් නොමැති වීමයි.

මේ සියලු කටයුතු සඳහා මෙම ඒකකයට වෙන්කර ඇත්තේ ඉතාමත් කුඩා කාර්ය්‍ය මණ්ඩලයකි.

එක් විශේෂඥ වෛද්‍යවරියක් එක් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීවරියක් (තුන්දෙනෙකු සාමාන්‍ය තත්ත්වයෙන් යටතේ වුවද සිටිය යුතු වුවත්) පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනෙක් (රාජකාරි ආවරණය) දැඩි ඉල්ලීම් මත මෙම ඒකකය වෙත තවත් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනෙකු පසුගිය සතියේ අනුයුක්ත කර තිබේ.

වෛද්‍ය රසායනාගාර කාර්මික නිලධාරීන් 05 දෙනෙක් (සීමාවාසික පුහුණුවේ නිරත නිලධාරීන් තිදෙනෙක් ද තම අමතර කාලයේ නොමිලයේ එනම් කිසිදු අතිකාල දීමනාවක් නොලබා සේවය සපයමින් සිටිති.)

සුළු සේවක කාර්ය මණ්ඩලය නිලධාරීන් හා රසායනාගාර සහකාර නිලධාරීන් සිව්දෙනෙක්.

(අදාළ සාම්පල භාර ගැනීම, තෝරා ගැනීම, දත්ත පරිඝනකගත කිරීමල ප්‍රතිපල ලේඛන සකස් කිරීම, ‌බෙදා හැරීම ඇතුළු සියලුම කටයුතු සිදු කරන්නේ මෙකී නිලධාරීන් විසිනි. ඔවුන් සාම්පල තොරාගැනීම වැනි විශේෂික කාර්ය්‍යක යෙදී ඇති අවස්ථාවලදී නව සාම්පල භාරගැනීම වැනි කටයුතු ලවා සිදුකිරීමට සිදුව ඇත්තේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය්‍ය මණ්ඩලයටය.)

ඉඩ ප්‍රමාණය ඉතාමත් සීමිත මෙම ඒකකය තුළ වෛද්‍යවරුන්ට වෙන්කර තිබූ කාමරයද ශීතකරණ හා භාණ්ඩ ගබඩා කිරීම සඳහා යොදාගෙන ඇති බැවින් ඔවුන්ට විවේක ගැනීමට ස්ථානයක් නැත. විශේෂඥ වෛද්‍යවරිය සඳහා වෙන් කර තිබූ කාමරය තුළද විශේෂ පරීක්ෂණ උපකරණ කිහිපයක් අටවා ඇති බැවින් ඇය ද සියලු කටයුතු සිදුකරන්නේ ඉතිරිව ඇති ඉතාමත් පටු කොරිඩෝව තුළ තම මේස හා පුටු තබා ගනිමිනි. මෙහි සිටින තාක්ෂණ නිලධාරින් ඇතුළු අනෙකුත් කිසිදු නිලධාරියෙක් සඳහා කිසිදු විවේක ස්ථානයක් නැති අතර එක දිගට පැය 10- 15 සේවයේ යෙදෙන ඔවුන්ට ඇත්තේ වාඩි වීමට සපයා ඇති පුටුව පමණි. මෙතරම් වෛරස සාම්පල ප්‍රමාණයක් සමග ගනුදෙනු කිරීමෙන් අනතුරුවද ඔවුන්ට තම නිවෙස් වලට යාමට ප්‍රථම ස්නානය කරගැනීමට හෝ ස්ථානයක් නොමැත.

නව කොවිඩ්-19 වසංගත තත්වයේ වර්ධනය හමුවේ එම ඒකකය වෙත ලැබෙන පී.සී.ආර්. (PCR) සාම්පල සෙල්සියස් අංශක 4 ක උෂ්ණත්වයේ ගබඩා කිරීම සඳහා ශීතකරණ පහසුකම් ප්‍රමාණවත් පරිදි අත්‍යවශ්‍ය නමුත් ඒ සදහා පවතින ශීතකරණ ප්‍රමාණවත් නැත. දැනට ද දෛනිකව ලැබෙන සාම්පල ආයතනය තුළ අයිස් සමග කාමර වල අසුරා තැබීමට සිදුව තිබේ. මීට අමතර වශයෙන් ලංකාව පුරාම ‌මෙම පී.සී.ආර්. (PCR) පරීක්ෂණ වල ප්‍රථිපල ලබාදීමට ඇති ප්‍රමාදය සැළකිල්ලට ගත යුතුය. අද වන විට කරාපිටිය රෝහලේ 2145 ක් අනුරාධපුර රෝහලේ 1500 ක් අයි.ඩී.එච් රෝහලේ 1800 ක් සහ වෛද්‍ය පර්යේෂණායතනයේ සාම්පල 4500 ක් පමණ ගොගැසී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී.

එබැවින් මෙම වසංගත තත්වයෙන් මෙරට ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නම් මෙම පරීක්ෂණ ප්‍රතිඵල කඩිනම්ව ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු අතර ඒ සදහා කල යුත්තේ මෙම පරීක්ෂණාගාර සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයා එහි කාර්ය්‍ය මණ්ඩලය දිරිගැන්වීමයි.

ඒ සඳහා පහත යෝජනා මෙසේ ඉදිරිපත් කරමු.

1. කොවිඩ්-19 වසංගත තත්වයේ ඉදිරි අවශ්‍යතා සියල්ල සළකා බලා ඕනෑම තත්වයකට සරිලන පරිදි ඉඩකඩ සහිත නව ගොඩනැගිල්ලක් ලබා දීම හෝ රෝහල තුල පහසුවෙන් ලඟාවිය හැකි ස්ථානයක ඇති කාමර කීපයක් ඔවුන් වෙනුවෙන් වෙන් කර දීම,

2. අවම වශයෙන් තවත් පී.සී.ආර්. (PCR) යන්ත්‍ර 02 ක් සපයා දීම සහ ඒවාට අත්‍යාවශ්‍ය පහසුකම් සපයා දීම,

3. පරීක්ෂණ කට්ටල නිතිපතා අඛණ්ඩව සැපයීම,

4. සියළුම සේවක කණ්ඩායම් අවශ්‍යතාවය පරිදි ඉතාමත් ඉක්මනින් අනුයුක්ත කිරීම (අවම වශයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙක්ල වෛද්‍ය රසායනාගාර කාර්මික නිළධාරීන් තිදෙනෙක්, සුළු සේවා කාර්ය්‍ය මණ්ඩලය සදහා හතර දෙනෙක්, පරිඝණක ක්‍රියාකරැවන් 02 ක්,

5. ශීතකරන හා අත්‍යාවශ්‍ය උපකරන අවශ්‍ය ප්‍රමාණයට සපයා දීම. සාම්පල අදාල උෂ්ණත්වයේ පවත්වා ගෙන යාම ප්‍රතිපලය කෙරෙහි බලපාන බැවින්මෙය හදිසි අවශ්‍යතාවයකි.

6. ඔවුන් නිරන්තරව දිරි ගැන්වීම සදහා දිරි දීමනාවක් වැටුපට එකතු කිරීම. ( පසුගිය කොවිඩ්-19 ව්‍යාප්ති අවස්ථාව තුල අමතර රාජකාරී දීමනා වැඩිකරන බව පවසා වෛද්‍යවරුන් රවටා තිබූ ආකාරයට රැවටීමට කටයුතු නොකිරීම,

7. පුද්ගලික ආරක්ෂක උපකරණ අවශ්‍ය තරම් සැපයීම,

8. ඔවුන්ගෙන් එක් අයෙකු හෝ කොවිඩ්-19 ආසාදනය වුවහොත් සේවයේ යෙදවීම සදහා අමතර කාර්ය්‍ය මණ්ඩලයක් පුහුණු කිරීම.

වැඩබිම