ගම්පහ කොවිඩ් පාලනය යහපත් මට්ටමක

ගම්පහ කොවිඩ් පාලනය යහපත් මට්ටමක

 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ආරම්භවූ කොවිඩ් 19 දෙවෙනි රැල්ල ගම්පහ දිස්ත්‍රික්කයේ යම් පාලනයකට ලක්ව ඇති බව (09) දින පැවැති සාකච්ඡාවකදී හෙළිවිය. මේ දක්වා සිදුකල PCR පරීක්ෂණ වලින් ආසාදිත රෝගීන් වාර්තාවීම 8.6% - 3.2% දක්වා අඩුවී ඇති අතර එය කොවිඩ් පාලනය තුළ යහපත් තත්වයක් බවත් ඉදිරි මාසය තුළ එම මට්ටම 2.5% ට අඩු මට්ටමකට පවත්වා ගැනීම සදහා කටයුතු කිරීම වැදගත්වන බවත් මේ සදහා දායකත්වය දැක්වූ ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන නායකත්වයටත්, සෞඛ්‍ය සේවාවේ සියලු දෙනාටත්, හමුදාපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාව සහ පොලීසියටත් සිය ස්තුතිය පුදකරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වූ සමා‌ලෝචන වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව සදහන් කලාය.

ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ 82000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 5589ක් ආසාදිතයින් ලෙස වාර්තාවී ඇත. ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 32ක PCR පරීක්ෂණ 20000ක ප්‍රමාණයක් සිදුකොට ඇති අතර මේවන විට දිනකට ගමපහ දිසතික්කයේ PCR පරීක්ෂණ 2000ක් සිදුකරනු ලබයි. ප්‍රාදේශීය සෞඛ්‍ය ‌සේවා අධ්‍යක්ෂ කාර්යාලය සමග සෞඛ්‍ය නිලධාරී කාර්යාල 16ක සේවය ගම්පහ කොවිඩ් 19 පාලනය සදහා යොදවා ඇත.