වැලි ප්‍රවාහනයෙන් දුම්රියට පාඩුයි

වැලි ප්‍රවාහනයෙන් දුම්රියට පාඩුයි

මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලබා ගැනීමේ අරමුණ සහිතව ආරම්භ කර ඇති වැලි ප්‍රවාහනය, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් ද මැදිහත් වී සිදු කරන, දුම්රිය සේවාවට පාඩු ගෙන දෙන මෙම ව්‍යාපෘතිය ගැන පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වන්නේ,

සෞභාග්‍යයේ දැක්ම අනුව සිදු කරන වැලි ප්‍රවාහන ජාවාරම සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් කරන්න.

ඔබතුමාගේ මෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප‍්‍රකාශය වන ”සෞභාග්‍යයේ දැක්ම” අනුව මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහනය මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලබා ගැනීමේ අරමුණ සහිතව ආරම්භ කර ඇති වැලි ප්‍රවාහනය, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ඔහුගේ ඥාතීන් හිතවතුන් සහ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් ද මැදිහත් වී සිදු කරන, දුම්රිය සේවාවට පාඩු ගෙන දෙන තවත් ජාවාරමක් පමණක් බව පෙන්වා දෙමු.

මඩකලපුව ඒරාවූර් සිට කොළඹ දුම්රිය අංගනය දක්වා වැලි ප්‍රවාහනය සඳහා සම්බන්ධවි ඇත්තේ හේමචන්ද්‍ර ඇසෝසියේට් (පෞද්ගලික) සමාගමයි. ඒ සඳහා සමාගමට අයත් කන්ටේනර් බහලූම් 20 ක් යොදාගෙන ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් BCF (Bogee Container Flats) 10 ක් හා M-11 සහ M-4 වර්ගයේ එන්ජින් දෙකක් ඒ සඳහා යොදාගෙන ඇත.

විශේෂ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන බඩු දුම්රියක්, ඒ සඳහා යොදවා ඇති අතර, 01 කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා රුපියල් 925/= ක සම්මත ගාස්තුවක් අය කිරීමට නියමිතව ඇත. එය ඕනෑම රාජ්‍ය ආයතනයකට වුවද ලබාදෙන සහන ගාස්තුවකි. මෙම ගාස්තුව 2012 වර්ෂයේ අනුමත කරන ලද ගාස්තුවක් වන අතර, එය යෑම්-ඊම් දෙකම සඳහා අය කරනු ලබන ඉතාම සහනදායි මිලකි.

දුම්රිය අඥා පනත මගින් ඇමති වරයාට පැවරී ඇති බලය වැරදි ලෙස අර්ථකථනය කොට දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් වන ආකාරයට හා සමාගමට ආර්ථික වාසියක් ලැබෙන පරිදි, වැලි පටවාගෙන ඒම සඳහා මඩකලපුව දක්වා ධාවනය වන හිස් දුම්රියට අය කරන ගාස්තුව සම්මත ගාස්තුවෙන් 50% ක් අඩුකර ඇත. කොළඹ සිට එරාවූර් දක්වා යෑම් - ඊම් දෙකටම කි.මී’. 680 ක දුර ප්‍රමානයක් ධාවනයේ යෙදවීමට දුම්රියට සිදුවන අතර, දුම්රිය ධාවනය වන එක් ගමන් වාරයකින් වැලි කියුබ් 108 ක් ප්‍රවාහනය කෙරේ.

සම්මත ගාස්තුව රු. 925/= අය කලේ නම්
925 X 680 = 629000/=
8% වැට් බදු = 50320/=
= 679 320/= කි.

ඇමති වරයා මැදිහත් වී සම්මත මිළ අඩු කිරීම නිසා දෙපාර්තමේන්තුවට ලැබෙන මුදල;
= 471750/=
8% වැට් බදු = 37740/=
= 509490/= කි.

ඒ අනුව පෞද්ගලික සමාගමට වාසි සැලසීම මත එක් ගමන් වාරයකින් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වන ආදායම ( 679320 - 509490) 169830/= කි.

දින 03 කට එක් ගමන් වාරයක් බැගින් මාසයකට ගමන් වාර 10 ක් සැලසුම් කිරීම මත මාසයකට දෙපාර්තමේන්තුවට අහිමි වන මුදල = 169830/= X 10 = 16 98300/= කි. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවන ආදායම රුපියල් 16 98300/= ක් බව ඔබතුමාගේ අවධානයට ලක් කරමු. තුන් මසක පරීක්‍ෂණ කාලයකට යටත්ව වැලි ප්‍රවාහනය කිරීමට අවසර දීමට කිසිදු ඉඩකඩක් දුම්රිය ආඥා පනතින් ඇමතිවරයාට සැලසී නැත.

පළමුවන කොරෝනා රැල්ල නිසා දුම්රිය දෙපාර්තමෙන්තුවට නොලැබී ගිය ආදායම රු. මිලියන 700 කට අධිකය. දෙවන කොරෝනා රැල්ල මගින් ඊටත් වඩා විශාල මුදලක් දුම්රිය සේවයට අහිමි වී ඇත. දුම්රිය සේවා කටයුතු නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකි වුවද, වාර්ෂිකව දුම්රිය දෙපාර්තමෙන්තුව ලබන ආදායමට වඩා වැඩි වියදම රුපියල් කෝටි 700 ඉක්මවයි. එවැනි තත්වයක් යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා මැදිහත්ව ජාවාරම් කාරයින්ගේ මනදොල සන්සිදුවීමෙන් යහපත් දුම්රිය සේවාවක් බලාපොරොත්තු විය හැකි ද ?.

සෞභාග්‍යයේ දැක්ම ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මුවාවී සිදු කරන මෙම වැලි ප්‍රවාහන ජාවාරම වහාම නතර කරන ලෙස ඉල්ලා සිටින අතර, වහාම මේ සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටිමු.