මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මාරු කිරීම් ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක්

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මාරු කිරීම් ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අප නිලධාරීන් එකී මාරු පටිපාටියට පටහැනිව මාරු කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත්, සේවාවට අදාලව කාර්ය පටිපාටික රීති මෙන්ම වාර්ෂික මාරු ප්‍රතිපත්තිය උල්ලංඝණයවීමක් සිදුවන නිසා නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එය වැලැක්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් රාජ්‍ය සේවා කළමනාකරණ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීමක් කරමින් ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ඒකාබද්ධ සේවාවේ කලමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධව ක්‍රියාවලිය සිදු කෙරෙනුයේ රාජ්‍ය සේවා කොමිසම විසින් 2009 පෙබරවාරි 20 දින නිකුත් කෙරුනු කාර්ය පටිපාටික රීති i කාන්ඩයේ xviii පරිච්ඡේදයේ 202 වගන්තියේ විධි විධානයන්ට අනුකූලවය.

ඒ අනුව එකී පටිපාටික රීති (කාණ්ඩ අංක 1)හි xviii පරිච්ඡේදයේ 203 වගන්තියේ (iii) හා (v) උප වගන්තිය අනුව ඒකාබද්ධ සේවයේ නිලධාරීන් සඳහා සේවා ස්ථාන කිහිපයක් ප්‍රිය මනාප සේවා ස්ථාන ලෙස හඳුන්වා ඇත. එකී ප්‍රිය මනාප සේවා ස්ථානයක අප නිලධාරියෙකුට සේවය කල හැකි උපරිම සේවා කාලය වසර පහකි. ඒ අනුව 2020 ජුනි 30 දක්වා කාලය තුල වසර පහක් සම්පූර්ණ වූ නිලධාරීන් 60 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ස්ථාන මාරු කිරීමට අදාල කටයුතු සිදුකර ඇත. තවද මෙය සෑම වර්ෂයකම අඛන්ඩව සිදුවන ක්‍රියාවලියක් බව අවධාරණය කරමු.

කරුණු එසේ තිබියදී එකී ප්‍රිය මනාප සේවා ස්ථානයක් ලෙස නම් කෙරුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අප නිලධාරීන් එකී මාරු පටිපාටියට පටහැනිව මාරු කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බව අප වෙත වාර්තා වී ඇත. ඒ අනුව 2020 ජනවාරි 1 වෙනි දිනට පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවී පැමිණි අප නිලධාරීන් සියළුදෙනා ස්ථාන මාරු කිරීමට කටයුතු කෙරෙන බැව් 2020 දෙසැම්බර් 18 දින විද්‍යුත් මාධ්‍ය මගින් දිවා ප්‍රවෘත්ති විකාශය තුල විශේෂ ප්‍රකාශයක් කරන්නට යෙදුනි.

මෙකී ප්‍රකාශය දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සම්බන්ධව කෙසේ වෙතත්, අප සේවාවට අදාලව කාර්ය පටිපාටික රීති මෙන්ම අප වාර්ෂික මාරු ප්‍රතිපත්තිය උල්ලංඝනයවීමක් සිදුවන නිසා අප නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් එය වැලැක්වීමට මැදිහත් වන මෙන් ඕනෑකමින් යුතුව ඉල්ලමු.