රෝගාතුර “සුවවිරුවන්“ වැසිකිලි හෝදන්න දාලා

කොවිඩ් රැල්ල ගැසූ දෙවාරයේම රෝගාතුර වූවන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුණේම හිඳිමින් කොරෝනා වෛරස් ආසාදිත වු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට නිසි සැලකිලි නොමැතිවීමෙන් ඔවුන් ඉතාමත්ම අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බව දිවයිනේ ප්‍රමුඛතම හෙද නිලධාරී සංගමයක් පවසයි.

කොරෝනාබාධිතව රෝහල් ගත වන හෙද නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සහ ආහාර පාන ලබා දෙනවා වෙනුවට වැසි කිළි සුද්ද කිරීමේ කටයුතු සදහා ඔවුන් යොදවා ඇති බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

"ඒ වෙනුවට ඒ අයට කියලා තිබුනා. ඒ රෝහලේ ඒ වාට්ටුවල අනිකුත් රෝගීන් එක්කම ටොයිලට්ස් හෝදන්න කියලා. ටොයිලට්ස් හෝදන්න කියලා හෙද නිලධාරීන්ට කියන තත්ත්වයක් තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වාර්තා උනේ."

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය එම අනාවරණය සිදු කළේ දෙසැම්බර් 22 අඟහරුවාදා කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීය.
වැසිකිලි සේදීමේ කාර්යේ නිරත වීමට සිදුවු කොරෝනාබාධිත හෙද නිලධාරීන් තමන්ට ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු බලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසුවත් පිළිතුරු නොලැබුන බව පවසන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එහිදී අවධාරණය කළේ විෂයභාර අමාත්‍යවරියට කතා කිරීමෙන් පසු රෝගාබාධිත හෙද නිලධාරීන් දෙදෙනෙකු වහාම නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් වෙනත් රෝහලකට මාරු කිරීමට අමාත්‍යවරිය මැදිහත් වු බවයි.

" නමුත් තව හෙද නිලධාරීන් දෙදෙනෙක් හිටියා. දවස් දෙකක්. ඊයේ රෑ එක්කෙනෙක් ගත්තා‌.අපි දිගටම බලපෑම් කරායින් පස්සේ. මේ මොහොත වෙනකොටත් තවත් එක හෙද නිලධාරිනියක් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඉන්නවා."

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය එහිදී බලධාරීන්ට අවධාරණය කලේ කොරෝනා වසංගතය මර්ධනය කිරීමටනම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂිත කළ යුතු බවයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සැලකිල්ල නොදක්වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය මීට පෙර අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය අමාත්‍යාංශය චෝදනා එල්ල කර තිබුනි.

(ද ලීඩර්)