රාජ්‍ය සේවයට අයත් නිලධාරීන්ගේ වෘත්තීය අයිතිය ලබාදෙන ඉල්ලා පෙත්සම් අත්සන් කිරීම අද ආරම්භ කරයි

රාජ්‍ය සේවයට අයත් නිලධාරීන්ගේ වෘත්තීය අයිතිය ලබාදෙන ඉල්ලා පෙත්සම් අත්සන් කිරීම අද ආරම්භ කරයි

රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ ලක්‍ෂයකට අධික උපාධිධාරීන් ඇතුලූ ක්ෂේත්‍ර හා සංවර්ධන නිලධාරීන්ට හිමිවිය යුතු ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලා දෙසැ. 30 සිට රාජ්‍ය ආයතන මට්ටමින් පෙත්සම් අත්සන් කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

පිළිගත හැකි උසස්වීම් පටිපාටියක් ලබාදීම, සීමාකිරීමකින් තොරව TN4 වැටුප් තලයට අයත් සියලූ උපාධිධාරීන්ට තීරු බදු රහිත යතුරු පැදි ලබාදීම, අභ්‍යාසලාභී පුහුණු කාලසීමාව තුල එක් මසක් වෙනුවෙන් ලබාදෙන රු. 20,000/- දීමනාව රු. 25,000/- දක්වා ඉහළ දැමීම, වසරක අභ්‍යාසලාභී පුහුණු කාලය නිමාකර ඇති 2019 අභ්‍යාසලාභීන් කඩිනමින් ස්ථිර කිරීම, කප්පාදු කර ඇති අභ්‍යාසලාභී ප්‍රසූත නිවාඩු දින 84 යළි ලබාදීම, #කොවිඩ්- 19 අවධානම් තත්වය යටතේ රාජකාරී සිදුකරන සියලූ නිලධාරීන්ට අවධානම් දීමනාවක් ලබාදීම, හදාරා ඇති උපාධි පාඨමාලාවට ගැලපෙන පරිදි උපාධිධාරීන් රැකියාගත කිරීම, කප්පාදු කර ඇති වැටුප් වර්ධක යළි ගෙවීමට පියවර ගැනීම ඇතුලූ ඉල්ලීම් 18 ක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

ලාංකීය අධ්‍යාපන ධූරාවලියේ ඉහළම අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ උපාධිධාරීන් අතර විශාල පිරිසක් අද වන විට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව යටතේ රැකියාගත කර ඇත. රැකියා විරහිත උපාධිධාරීන් වසර ගණනාවක් රැකියා ඉල්ලමින් අරගල කරද්දී වසර කීපයකට පසු පවතින ආණ්ඩු බඳවාගැනීම් සිදු කළද උපාධිධාරීන්ට වෘත්තිමය වශයෙන් අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන සාධාරණ ස්ථානයක් රාජ්‍ය සේවය තුල ලබා දී නැත. ආසන්න වශයෙන් දශක 2 ක (වසර 20 ක) කාලය තුල බඳවාගත් උපාධිධාරීන් හදාරා ඇති උපාධි පාඨමාලා අනුව අමාත්‍යාංශ විෂය පඨයන් සඳහා වෙන්කර බඳවා ගැනීමට පැවති සෑම පාලනයක්ම අසමත් වී ඇත.

කෘෂිකර්ම, පුරා විද්‍යා, ලලිතකලා, වාණිජ, ගිණුම්කරණය මේ සෑම උපාධිධාරී බහුතරයකට අද ආයතනවල කම්කරු, ලිපිකරු හා සමාන්තර රාජකාරී කිරීමට සිදුවීම තුළින් මෙතෙක් පැවති පාලන ක්‍රමයන්ගේ අසමත්කම හොඳින් ගම්‍ය වේ.

දෙසැ. 30 සිට සති 2 ක් පුරා ඉහත ඉල්ලීම් ඇතුළත් පෙත්සම් රටපුරා රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතනවල අත්සන් කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන අතර අදාල බලධාරීන් එම ඉල්ලීම්වලට අදාල කඩිනම් විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරමු. එසේ විසඳුමක් ලබා නොදුනහොත් පෙත්සම් අත්සන් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වීමට අප වෘත්තීය සමිති කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කරමු.