වැන්දඹු - අනත්දරු දයාක විස්තර පුද්ගලික ලිපිගොනු වලට ඇතුලත් කිරීමට කලාප කාර්යාලට උපදෙස් දෙන්න

වැන්දඹු - අනත්දරු දයාක විස්තර පුද්ගලික ලිපිගොනු වලට ඇතුලත් කිරීමට කලාප කාර්යාලට උපදෙස් දෙන්න

වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දයාක මුදල් අයකිරීම පිළිබඳ විස්තර පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කිරීමට අදාළ රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 03/2020 කි‍්‍රයාත්ම කිරීමට කලාප අධ්‍යාපන කාර්යාල වෙත උපදෙස් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය විසින් අධ්‍යාපන බලාධාර්නගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

විශ‍්‍රාම ගන්නා රාජ්‍ය සේවකයින් වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල් අයකිරීම පිළිබඳ විස්තර තමන් පෙර සේවය කළ සේවා ස්ථානවලින් ලබාගෙන විශ‍්‍රාම යන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුවිය. මේ තත්වය තුළ විශ‍්‍රාම ලබන ගුරුවරු දැඩි පීඩාවකට පත්විය. ඊට හේතු වූයේ ඔවුන් මුල්පත්වීම් ලැබූ දුෂ්කර ප‍්‍රදේශවල කලාප අධ්‍යාපන කාර්යාල වෙත ගොස් එම අවශ්‍යතාවය සපුරා ගැනීමට සිදුවීම හා බොහෝ විට වසර 25 කට 30 කට පෙර තමන් සේවය කළ කලාප කාර්යාලවලින් එම තොරතුරු ලබා ගැනීමට නොහැකි වීමයි. මේ තත්වය තුළ විශ‍්‍රාම යන බොහෝ ගුරුවරුන්ට තම පෙර සේවා කාලයන්ට අදාළ වැන්දඹු අනත්දරු විශ‍්‍රාම වැටුප් දායක මුදල් නැවත ගෙවා විශ‍්‍රාම යාමට සිදු විය. මේ හේතුවෙන් විශ‍්‍රාම ලබන ගුරුවරු සහ විදුහල්පතිවරු දැඩි දුෂ්කරතාවයකට ලක්විය.

මෙම ගැටලූවට විසඳුම් ලබාදෙන ලෙස අප සංගමය දිගින් දිගටම විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි අතර, මේ වන විට එම ගැටලූවට විසඳුම් ලෙස 2020.12.31 දිනැතිව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් 03/2020 අංකයෙන් රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක‍්‍රලේඛයෙන් වැන්දඹු අනත්දරු දායක මුදල් අය කිරීමට අදාළ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් විශ‍්‍රාම යන රජයේ සේවකයන්ට වසර 2 ක සහන කාලයක් සහ උක්ත ගැටලූවට විසඳුමක් ලබා දී ඇත. ඒ අනුව විශ‍්‍රාම යන නිලධාරියා නොව අදාළ ආයතනය මගින් සෑම නිලධාරියෙකුගේම පෞද්ගලික ලිපි ගොනුවට අදාළ තොරතුරු ඇතුළත් කළ යුතුය.

එහෙත් කලාප අධ්‍යාපන කාර්යාලවල මෙම චක‍්‍රලේඛයට අනුව කටයුතු සිදු නොවේ. මේ තත්වය තුළ ගුරු සහ විදුහල්පති සේවාවල නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීමේදී මෙම චක‍්‍රලේඛයේ විධිවිධාන කි‍්‍රයාත්මත කිරීමට කඩිනමින් උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.