රෝහල් වල හෙද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

රෝහල් වල හෙද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

කොවිඩ් වසංගත තත්වය හමුවේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙමින් තිබූ විශේෂ නිවාඩු අවලංගු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

2020.12.28 දිනැතිව අප සංගමය ඔබට යොමු කරන ලද ලිපියත්, 2021.01.05 ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂකට යොමු කර ඔබටද පිටපතක් සහිතව යොමු කල ලිපිය හා බැඳේ.

එම ලිපි මගින් අප පෙන්වා දුන් කරුණු පිළිබදව ඔබගේ නිසි අවධානය යොමු නොකිරීම තුල හෙද හෙදියන් මේවන විට දැඩි අවධානමකට ලක් වී සිටී.

කිසිඳු සුභසාධක පහසුකමක් හෝ අමතර ආර්ථික වාසියකින් තොරව කොවිඩ් වසංගතය හමුවේ දුෂ්කර සේවාවක් ඉටු කරමින් සිටින හෙද කාර්ය මණ්ඩලය රාජකාරී ඉටු කිරීමේ දී ආසාධිතයන්ට නිරාවරණයවීමේ අනතුර අවම කර ගැනීමට හැකි වූයේ ඔබතුමාගේ 2020.10.22 ලිපියට අනුව සේවා මුර සකස්කර කටයුතු කිරීම හේතුවෙනි. කෙසේ වුවද එම ලිපියේ උපදෙස් අනුව රාජකාරී කිරීම නිසා කොරෝනා අසාදිතයන්ට හෙද කාර්ය මණ්ඩලයේ වැඩිදෙනෙකු නිරාවරණයවීමේ අනතුර අවම වී තිබේ.

දිවයිනේ බහුතර රෝහල් සංඛ්‍යාවක ඔබතුමාගේ ලිපියේ උපදෙස් අනුව බාදාවකින් තොරව රෝගී සත්කාර සේවා ලබා දෙමින් සිටී. එසේ තිබිය දී කොරෝනා අවධානම දැඩිව තිබෙන රෝහල් කිහිපයක ආයතන ප්‍රධානීන් එම රෝහල්හි සත්කාර සේවාවල ගැටලූ මතු නොවී තිබෙන තත්වයක් තුල සියලූම හෙද හෙදියන් සේවයට කැදවීම හෙද හෙදියන් අනතුරට ඇද දැමීමක් බව අපගේ අදහසයි. එබැවින් සමස්ත කාර්ය මණ්ඩලය අවිද්‍යාත්මක ලෙස සේවයට කැදවීම පිළිබඳව අපගේ දැඩි විරෝධය පළ කර සිටිමු. තවද ප‍්‍රමාණය ඉක්මවමින් සේවයට කැදවීම තුල පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී සිදුවන තද බදය ඉහළ යාම තුළ කොවිඩ් අවධානම ඉහළ යනු ඇත.

මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල, ජාතික අක්ෂි රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් ගණනාවක ආයතන ප්‍රධානීන්ගේ මෙම ක්‍රියාකලාපයන්ට එරෙහිවත් ඊට විරෝධය පල කිරීම සඳහාත් 2021.01.15 දින පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට එම රෝහල් හි හෙද කාර්යය මණ්ඩලය කටයුතු කරන බව දන්වා සිටිමු. මෙම ගැටළුව විසඳීමට කටයුතු නොකරන්නේ නම් තවදුරටත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සදහා යාමට ක්‍රියා කරන බව ඉතා වගකීමෙන් යුතුව දන්වා සිටිමු.