සංවර්ධන නිලධාරින්ගේ ගැටලු වලට විසඳුම් දෙන ලෙස දිසාපතිවරුන්ගෙන් ඉල්ලයි

සංවර්ධන නිලධාරින්ගේ ගැටලු වලට විසඳුම් දෙන ලෙස දිසාපතිවරුන්ගෙන් ඉල්ලයි

සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරී නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබඳ ජනවාරි මස පැවැත්වෙන දිසාපති සමුළුවේ අවධානය සඳහා යොමු කර විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස සංවර්ධන නිලධාරී සේවා සංගමය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

MN-04 (ආශ්‍රිත සේවය) ට අයත් 1999-2020 දක්වා බඳවාගෙන ඇති උපාධිධාරීන් මේ වන විටත් මුහුණපාන ගැටළු හා කරුණු කීපයක් පිළිබඳව ඔබතුමාගේ/ ඔබතුමියගේ කඩිනම් අවධානය යොමු කරමු.

2021 ජනවාරි මස ඉදිරි දිනක දී පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් ලේකම් මාසික සමුළුවේ දී පහත සඳහන් කරුණු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන මෙන්ද, අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබා දීමට මැදිහත් වන මෙන් ද ඉල්ලා සිටිමු.

1. 2019.08.01 සහ 2019.09.16 යන දිනයන්හි අභ්‍යාසලාභී පුහුණුවට බඳවාගත් අභයාසලාභී උපාධිධාරීන්ගේ වසරක පුහුණුව අවසන් වී මාස 04කට අධික කාලයක් ගත වී ඇත. මේ වන විට පවතින Covid-19 අවධානම් තත්වයන් සැලකිල්ලට ගනිමින් ස්ථීර කිරීමට පෙර මෙතෙක් අනුගමය කළ ආකාරය වෙනුවට නව ආකාරයකින් එම පිරිස කඩිනමින් ස්ථීර කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් කටයුතු කරමින් පවතී. දැනට වැළැක්විය නොහැකි ප්‍රමාදය පවා අභ්‍යාසලාභී පුහුණුව අවසන් කර ඇති උපාධිධාරීන්ට ගැටළුක්ව ඇති බැවින් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීමට අදාළ ලිපිගොණු නියමිත දිනට යොමු කරවීම පිළිබඳව කාරුණික අවධානය යොමු කිරීම.

2 Covid-19 වෛරස ව්‍යාප්තිය වේගයෙන් පැතිරයමින් පවතින මොහොතක ඔබ දෙපාර්තමේන්තුවේ හා ඊට අයත් ආයතනවල සේවයේ නියුතු ක්ෂේත්‍රගත/ කාර්යාලගත නිලධාරීන් සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා විෂබීජ නාශක දියර ඇතළු ද්‍රව්‍ය ප්‍රමාණවත්ව ලබා නොදීම.

3. වාර්තාවන අන්දමට මේ වනවිටත් කොළඹ/ මාතලේ වැනි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයක අප සේවයට අයත් නිලධාරින්හට වෛරසය ආසාධනය වී ඇති අතර තවදුරටත් කාර්ය මණ්ඩල අවධානමකට ලක් වීම හා අවධානම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම.

4. Covid-19 පළමු රැල්ල ක්‍රියාත්මක වකවානුව තුළ දිස්ත්‍රික් ලේකම්/ ප්‍රදේශීය ලේකම් කාර්යාලවල ඊට අදාළ රාජකාරියේ නියැළුණු නිලධාරීන් සඳහා 2020 මැයි/ජූනි/ජූලි මාස සඳහා ගෙවීමට නියමිත තිබූ දීමනා ඇතැම් ආයතන මෙතෙක් ගෙවීම් සිදු නොකිරීම. අප සේවයට අයත් එම අවම දීමනාව පවා දිනා ගැනීමට සිදු වූයේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව බවද සිහිපත් කරමු.

5. 2020 වර්ෂයේ ක්‍රියාත්මක වූ ‘‘සපිරිගමක්’’ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ සංවර්ධන නිලධාරීන් සඳහා මෙතෙක් නිවාඩු දින වැටුප් නොගෙවීම. ස්වදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේක අනුව අදාළ මාස වෙනුවෙන් මාසයකට අවම දින 03 ක හා උපරිම දින 05 කට යටත්ව නිවාඩු දින වැටුප් කඩිනමින් ලබා දීම.

6. ගම සමඟ පිළිසඳරක් - 2021 ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ග‍්‍රාමීය කමිටු කැඳවුම්කරු ලෙස සංවර්ධන නිලධාරීන් පත් නොකිරීම, අදාළ වසමේ පොත පිරවීම පමණක් සංවර්ධන නිලධාරීන්ට පැවරීම හා වසමට අයත් සංවර්ධන විෂය තුළ සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛ නොකිරීම හේතුවෙන් දිගින් දිගටම සිදුවන වෘත්තීය හෑල්ලූ කිරීම වැළැක්වීමට නිසි පියවර ගැනීම.

7. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අයත් වෙනත ක්ෂේත්‍ර නිලධාරීන් වෙත සෘජුවම අයත් කාර්යයන් එම නිලධාරීන් ප්‍රතික්‍ෂේප කළ පසු සංවර්ධන නිලධාරීන්ට පැවරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති අතර එම ක්‍රමවේදය ගැටළුකාරී වීම.

උදා:- ගෙවතු වගා සමීක්ෂණය (කෘ.ප.නි.සං.නිලධාරී) GPS තාක්ෂණය හරහා ළිං පිළිබඳ තොරතුරු මහජන ආධාර බෙදීම.

8. 7/2017 ස්වදේශ කටයුතු අමාත්‍යාංශ චක්‍රලේකය නොසලකා සංවර්ධන නිලධාරීන් ඇතැම් කාර්යාලවල පිළිගැනීමේ කවුළුවේ රාජකාරියේ තවදුරටත් යෙදවීම හා සංවර්ධන විෂයට අයත් නොවන රාජකාරී පැවරීම.

9. සමාජ අරක්ෂණ මණ්ඩලයේ ප්‍රදේශීය රක්ෂණ නියෝජිතයින් ලෙස මහජනතාව දායක කර ගැනීම සඳහා සහ රක්ෂණයට අදාළ මුදල් වාර්තා වාරික අයකර ගැනීම වැනි කටයුතු වෙනුවෙන් සංවර්ධන නිලධාරීන් ඇතැම් දිස්ත්‍රික්කවල යොදා ගැනීම හා අදාළ ඉලක්ක සම්පූර්ණ නොකළහොත් වැටුප් වර්ධක අත්හිටුවීම් පවා සිදු කරන බවට ඇතැම් ආයතන ප්‍රධානීන් ලිඛිතව දැනුම් දී තිබීම. කෙසේ වෙතත් ඊට අදාළ කාර්යයන් වලින් සංවර්ධන නිලධාරීන් ඉවත්වන බව වෘත්තීය සමිතියක් ලෙස අප දැනටමත් ලිඛිතව දැනුම් දී ඇත.

10. වැඩ බැලීමේ දීමනාව 2013 සිට මේ දක්වා ලබා දීමට බොහෝ දිස්ත්‍රික්ක කටයුතු නොකිරීම හා අදාළ හිමි දීමනාව ලබා දීමට පියවර ගැනීම.

11. තීරුබදු රහිත යතුරුපැදි හිමිකම 1999 සිට 2021 දක්වා බඳවාගෙන ඇති ස්ථීර උපාධිධාරීන්ට හා වසරක පුහුණුව අවසන් සියලූම MN-04 වැටුප්තලයට අයත් නිලධාරීන්ට ලබා දීමට පියවර ගැනීම.

ඉහත සඳහන් ගැටළු හා ඉල්ලීම් පිළිබඳ ඔබතුමාගේ / තුමියගේ කඩිනම් අවධානය යොමුකරමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා මෙන් අප සංගමය කාරුණිකව ඉල්ලා සිටිමු.

ඒ පිළිබඳව ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් අප සංගමයට ද පිටපත් යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.