දිඹුලාගල ප්‍රා.ලේ අසාධාරණ ලෙස ධුරයෙන් ඉවත් කරලා

දිඹුලාගල ප්‍රා.ලේ අසාධාරණ ලෙස ධුරයෙන් ඉවත් කරලා

අත්තනෝමතික හා නීති විරෝධී අන්දමින් ඉවත් කළ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය සිය ධූරයේ යළි පිහිටුවන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකරවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයේ රාජකාරී කරමින් සිටි නිමාලි ජයශාන්තී මහත්මිය ආණ්ඩුපක්ෂයේ දේශපාලන වුවමනාව මත නීති විරෝධී හා කාර්ය පටිපාටික රීති උල්ලංඝනය කරමින් ධූරයෙන් ඉවත් කිරීමට හා ස්ථානමාරු කිරීමට උතුරුමැද පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ගෙන ඇති තීරණයට අප සංගමය දැඩි ලෙස විරෝධය පළ කර සිටිමු.

පළාත් පාලන කොමසාරිස්වරයා සිය අභිනියෝජිත බලය අත්තනෝමතිකව යොදා ගනිමින් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන නියෝජිතයින්ගේ හා වෙනත් වෘත්තීය සමිති වුවමනාවන් නියෝජනය කරමින් සිදු කර ඇති අදාළ ස්ථානමාරුව වහා අවලංගු කර එම නිලධාරිනිය යළි දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්ධූරයේ පිහිටුවන මෙන් ද අප සංගමය ඉල්ලා සිටිමු.

2. MN 04 වැටුප් කාණ්ඩයට අයත් උතුරුමැද පළාත් සංවර්ධන නිලධාරී සේවයේ i පන්තියේ නිලධාරිනියක් වන ධූරයෙන් ඉවත් කර ඇති නිමාලි ජයශාන්ති මහත්මිය පශ්චාත් උපාධිධාරිනියක් වන අතර ඇලහැර ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයේ ද ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටු කරමින් පසුව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයට පත් කර ඇති අතර දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරය වසර එකකුත් මාස පහක් ගතකර ඇත.

3. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව බලය පිහිටුවා ඇති දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන පොදුජන පෙරමුණු දේශපාලන නියෝජිතයින් අතර බලය හුවමාරු කරගැනීමේ දේශපාලන බලපොරයට නීත්‍යානුකූලව හා විශිෂ්ඨව රාජකාරී ඉටු කරන නිලධාරීන්ගේ සේවය බාධාවක් වීම හේතුවෙන් මෙම නිලධාරිනිය ධූරයෙන් ඉවත් කිරීමට පියවරගත් බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

4. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන අතුරින් 334 වැනි ස්ථානයට වැටී තිබූ දිඹුලාගල ප්‍රාදේශීය සභාව පළමු පළාත් පාලන 100 අතරට එකතු කරමින් මාස 17ක වැනි කෙටි කාලසීමාවක් තුල වසර 15 කට පසු විගණන මතයක් ලබා ගැනීමට ක්‍රියා කර ඇති නිලධාරිනියක් මෙලෙස ධූරයෙන් ඉවත්කර දඩුවම් ස්ථානමාරුවීමක් ලබාදීම නීති විරෝධී මෙන්ම සදාචාර සම්පන්න නොවන බවද සඳහන් කරමු.

5. රාජ්‍ය කළමණාකරන සේවයේ අධිපන්තියේ නිලධාරීන් උක්ත ප්‍රාදේශීය සභාවේ වසර ගණනාවක් සභා ලේකම් ධූරය දරමින් ක්‍රියා කර ඇති අතර මූල්‍ය භාවිතය අතින් දූෂිත ආයතනයක් මට්ටමට පතවීම පමණක් නොව වාර කීපයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාව හමුවේ මුහුණු දීමට ද සිදුව ඇත.

6. මුදල් රෙගුලාසි අනුව යමින් විධිමත් හා කාර්යක්ෂම පාලන ක්‍රමවේදයක් මගින් 334 වැනි ස්ථානයකට වැටී තිබූ දිඹුලාගල ප්‍රාදේශීය සභාව පළමු 100 අතර ඔසවා තබමින් මහජන සේවයක් සැපයීම වරදක් බව සනාථ කරමින් දී ඇති දඩුවමක් බව අපි මෙම ක්‍රියාදාමය හඳුන්වන්නෙමු.

7. උතුරුමැද පළාත් සංවර්ධන නිලධාරී සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් සභා ලේකම් ධූරයේ රාජකාරී වගකීම් දරණ අතර එම නිලධාරීන්ට සිදුවන මෙවැනි ආකාරයේ කෙනෙහිලිකම් හා පහත් ආකාරයේ කටයුතු අපි අනුමත නොකරමු.

8. උක්ත නිලධාරිනිය දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ රාජකාරී අරඹා මාස 17 ක වැනි කෙටි කාලයක් තුළ අදාළ පටිපාටිවලින් බැහැරව සිදු කළ ස්ථානමාරුවීම ධූරයෙන් පහත හෙලා සිදුකළ දඬුවම් මාරුවකි. එම සියලූ කටයුතු සිදුකර ඇත්තේ අදාළ අනුමත කාර්ය පටිපාටිවලින් බැහැරවය. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අප වෘත්තීය සංගමය ඉල්ලා සිටිමු.

මේ වන විට කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව දිඹුලාගල උක්ත ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයේ වගකීම දැරූ ධූරයෙන් ඉවත් කර ඇති නිමාලි ජයශාන්ත මහත්මිය එම ධූරයට පත් කරන මෙන්ද,

උතුරුමැද පළාත් සභා ලේකම්ධූර දරන උතුරුමැද පළාත් සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට නිරන්තරව සිදුවන මෙවැනි අසාධාරණ ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නා මෙන්ද,

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 9(i) වගන්තිය අනුව නිසි හා යෝග්‍ය තැනැත්තෙකු පත් කිරීමේ ප්‍රතිපාදනය යටතේ උතුරුමැද පළාත් සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන් ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්කිරීමට හෝ, අනුපාත ක්‍රමයක් යටතේ පත්කිරීම හෝ, සභා ලේකම්ධූරය සඳහා සීමිත තරඟ විභාග ක්‍රමයක් යටතේ හෝ ඉහළම අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට ද සභා ලේකම්ධූර අවස්ථා ලබා දීමට ක්‍රියා කරන මෙන්ද අප සංගමය ඉල්ලා සිටිමු.

ඉහත ඉල්ලීම් සම්බන්ධයෙන් සාධාරණ කාලසීමාවක් තුළ විසඳුමක් නොලැබෙන්නේ නම් අප සේවයේ නිලධාරීන්ගේ සාධාරණ හා යුක්ති සහගත අයිතීන් වෙනුවෙන් ගත හැකි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද කාරුණිකව දන්වා සිටිමු.