ජාතියේ මහා පහන්ටැඹ විකුණන්නේ චීනයටද?

ජාතියේ මහා පහන්ටැඹ විකුණන්නේ චීනයටද?

කොළඹ කොටුවේ පිහිටි පිට්ටු බම්බුව ලෙස හඳුන්වන ගොඩනැගිල්ලෙන් ලංකා බැංකු මූලස්ථානය ඉවත්කර ගන්නා ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් එම බැංකුවට දැනුම් දීමක් ලැබී ඇත.

ලංකා බැංකු මූලස්ථානය ඉදිකිරීම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයෙන් අක්කර 5ක ඉඩමක් ලබාදෙන බවද නාගරික සංවර්ධන අධිකාරිය ලංකා බැංකුවට ඒ සමඟම දැනුම් දී ඇත.
ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාව මේ පිළිබඳ දැනගන්නට ලැබීමෙන් පසු එහි මහා කළමනාකරුගෙන් ජනවාරි 15 දින සාකච්ඡාවක් ඉල්ලා ඇති අතර ඒ අනුව ජනවාරි 18 වැනිදා සාකච්ඡාවක් ලබාදී ඇත. එම සාකච්ඡාවේදී මහා කළමනාකරු සුගත් ගුණසේකර බැංකු සේවක සංගම් නියෝජිතයන්ට දන්වා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය එවැනි ඉල්ලීමක් කර ඇති බවය.

වැඩිදුරටත් වාර්තා වන්නේ ලංකා බැංකුවේ ආයතනික කළමනාකරණ රැස්වීමකදී එහි සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ එම ඉල්ලීමට අනුමැතිය ලබාදුන් බව ප්‍රකාශ කර ඇති බවයි.

මේ පිළිබඳ ප්‍රශංසාව ආණ්ඩුවට ලබාදෙමින් පත්‍රිකාවක් මඟින් මුලින්ම කරුණු අනාවරණය කර ඇත්තේ ආණ්ඩු හිතවාදී ප්‍රගති බැංකු සංගමය වන අතර ලංකා බැංකු සේවක සංගමය සාකච්ඡාවක් ඉල්ලා ඇත්තේ එය පදනම් කර ගනිමින්ය.

ලංකා බැංකු මූලස්ථානය ඇතුළු ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුලුනු, හිල්ටන් හා ගලදාරි යන හෝටල් පිහිටි භූමිය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතර මීට පෙර කොරියානු ආයෝජකයන් පිරිසක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුලුනු ඉල්ලා ඇතත් එහි සිංගප්පූරු හිමිකරුවන් එය ලබාදීමට එකඟ වී නැත. වැඩිදුරටත් වාර්තා වන්නේ ලංකා බැංකු- මූලස්ථාන ගොඩනැඟිල්ල ඇතුළු එම භූමියේ ගොඩනැඟිලි කිහිපයක් කොළඹ පෝට් සිටි චීන ආයෝජකයන් ඉල්ලා ඇති බවයි.

(අනිද්දා)