ශ්‍රී ලංකාව දූෂණ මර්ධනයෙන් කිසිඳු ප්‍රගතියක් අත්කර නොගනී

ශ්‍රී ලංකාව දූෂණ මර්ධනයෙන් කිසිඳු ප්‍රගතියක් අත්කර නොගනී

දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ආයතනය විසින් එලි දක්වනු ලැබූ දුෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අසමත් ව ඇත.දුෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දුෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව පෙර වසරේ ලබා ගත් අගයම වන ලකුණු 38 ක් ලබා ගෙන ඇත. අපගේ කලාපීය අසල්වැසි රාජ්‍යයන් හා සංසන්දනය කිරීමේදී ද භූතානය (68), මාලදිවයින (43) සහ ඉන්දියාව (40) යන රටවල් වලට වඩා ශ්‍රී ලංකාව තරමක දුර්වල අගයක් පෙන්නුම් කර ඇත. 2020 වසරේ දුෂණ සංජානන දර්ශකයේ 92 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව 2018 වර්ෂයේ 89 වන ස්ථානයේද 2019 වර්ෂයේ 93 වන ස්ථානයේද පසු විය. දුෂණ සංජානන දර්ශකය අර්ථකථනය කිරීමේදී අවධාරණය කල යුතු වන්නේ, අනෙක් රටවල ලකුණු මත පදනම්ව උච්චාවචනය විය හැකි ශ්‍රේණිගත වීමට වඩා එක් එක් රටවල තනි වශයෙන් ලබා ගත් ලකුණු කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වන බවයි.

2020 දුෂණ සංජානන දර්ශකය තුල එක් එක් රටවල කාර්යසාධනය පිලිබඳ අදහස් දක්වමින්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නීතිඥ නදීෂානි පෙරේරා මහත්මිය ප්‍රකාශ කලේ, පසුගිය දශකයක පමණ කාලය පුරාවට අනුප්‍රාප්තික ආණ්ඩු විසින් දුෂණ විරෝධී බැඳීම් සඳහා විවිධ ප්‍රකාශයන් සිදු කර තිබියදීත්, දුෂණ සංජානන දර්ශකය තුල ශ්‍රී ලංකාව එක තැන රැඳී සිටීම තුලින් පිළිබිඹු කරන්නේ විශේෂඥයන් සහ සහ ව්‍යාපාරික ප්‍රජාවන් මෙම වෑයම යථාර්තවාදී දෙයක් ලෙස නොදකින බවයි . එමෙන්ම, අප නැවත නැවතත් අවධාරණය කල යුතු වන්නේ පසුගිය වසර ගණනාවක කාලය පුරාවට, දුෂණ විරෝධී නඩු අතිමහත් සංඛ්‍යාවක දක්නට ලැබුණු සීමිත ප්‍රගතිය ද මෙම පසුබෑමට හේතු සාධක වී ඇති බවයි.

වැඩිදුරටත්, සඳහන් කල යුතු වන්නේ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මෙහෙයවා ඉදිරියට ගෙන එනු ලැබූ, අල්ලස හා දුෂණය මැඩලීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම වැනි ප්‍රතිපත්තීන් සඳහා වඩා අර්ථවත් ව්‍යවස්ථාදායකමය බලගැන්වීමක් තව දුරටත් ලැබිය යුතු බවයි. තවදුරටත්,මැතිවරණ ප්‍රචාරණ මුල්‍යකරණය නියාමනය කිරීමේ නීතිමය රාමුවක් නොමැති වීම සහ විදේශ මුදල් තැන්පතු සඳහා වන "කිසිදු ප්‍රශ්නයක් නොවිමසීම " වැනි මෑත කාලීනව ඉදිරියට ගෙන එනු ලැබූ ප්‍රතිපත්තින් හේතුවෙන් තවදුරටත් ඉදිරි වසර වලදීද දුෂණ සංජානන දර්ශකය තුල ලබාගන්නා ලකුණු ප්‍රමාණය සහ ස්ථානය පිරිහීමට ඉඩ ඇති බවයි.

පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කලේ " අදටත් ජනතාව අතරින් නැඟෙන ප්‍රශ්න වන්නේ කොවිඩ් - 19 සහන සඳහා වෙන්කළ අරමුදල් සහ ලැබී ඇති විදේශ ආධාර සහ පරිත්‍යාගයන් භාවිතයට ගෙන ඇති ආකාරය පිළිබඳවයි. එලෙස ප්‍රශ්න නැඟූ පමණින්ම, මෙම ක්‍රියාවලිය තුල දුෂණමය අකටයුත්තක් සිදු වී ඇතැයි අදහස් නොකරන නමුදු,රජය එය විනිවිදභාවයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය සහ පෝෂණය කරන අවස්ථාවක් ලෙස හඳුනා ගත යුතුය.මන්ද යත් දුෂණ සංජානන දර්ශකය මිනුම්කරණයේදී දුෂණය මැඩලීම යන සාධකය කෙරෙහි එය සාධනීය බලපෑමක් සිදු කල හැකි වන හෙයිනි.