සණස බැංකු පටලවා ගන්න එපා- ලංකා බැංකු සේවක සංගමය ඉල්ලයි

  සණස බැංකු පටලවා ගන්න එපා- ලංකා බැංකු සේවක සංගමය ඉල්ලයි
සණස සංවර්ධන බැංකුව (පීඑල්සී) සහ සණස බැංකුව එකිනෙකට වෙනස් මූල්‍ය ආයතන දෙකක් බවත්, එක් ආයතනයක අක්‍රමිකතා වාර්තා කිරීමේදී අනෙක් ආයතනයේද නම පටලවා ගැනීමක් සිදුවන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.
 
මේ හේතුවෙන් බැංකුවේ කීර්ති නාමයට සිදුවන හානිය පෙන්වා දෙමින් ඒ් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය පහත පරිදිය.
 
"සණස සංවර්ධන බැංකුව පී.එල්.සී. යනු 1982 අංක 17 දරන සමාගම් පනත සහ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි අංක PB62PQ සහ 1988 අංක 30 දරන බැංකු පනත යටතේ විශේෂ බලපත්‍රලාභී බැංකුවක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි කරන ලද ලියාපදිංචි අංක 06 යටතේ 1997 වර්ෂයේ ආරම්භ කොට පවත්වාගෙන යනු ලබන විශේෂ බලපත්‍රලාභී බැංකුවකි. 
 
සණස බැංකු යනු 1972 අංක 05 දරන සමූපකාර (සංශෝධන) පනත යටතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියාමනය යටතේ පවත්වාගෙන යන සණස ව්‍යාපාරය සතු ආයතන සමූහයකි.
 
සණස සංවර්ධන බැංකුව ආරම්භ කිරීමේ දී අවශ්‍ය ප්‍රාග්ධනය 100% ක් සණස ව්‍යාපාරය තුළින් ඒකරාශී කරන ලදී. 2012 වර්ෂයේ දී සණස සංවර්ධන බැංකුව කොටස් වෙළඳපළ තුළ ලැයිස්තුගත කිරීමත් සමග මේ වනවිට සණස ව්‍යාපාරය ඇතුළු සමූපකාරික ව්‍යාපාරයේ හිමිකාරිත්වය 22%-28% ත් අතර ප්‍රමාණයක් දක්වා පහළ වැටී ඇත. ඒ අනුව සණස බැංකු ඇතුළු සණස ව්‍යාපාරය සණස සංවර්ධන බැංකුවේ ප්‍රාග්ධනය සඳහා ආයෝජනයකර තිබුණ ද මෙම ආයතන දෙක වෙනම නියාමන ආයතන දෙකක් යටතේ ක්‍රියාත්මක වන එකිනෙකට වෙනස් වූ ආයතන දෙකකි.
 
මාධ්‍ය විසින් මේ පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොරව කටයුතු කිරීම මත අවස්ථා කිහිපයක දී සණස බැංකුව තුළ සිදුවී ඇති මුල්‍ය අක්‍රමිකතා සණස සංවර්ධන බැංකුව තුළ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ලෙස ප්‍රචාරය කිරීමට කටයුතුකර ඇත. ඒ තුළ සණස සංවර්ධන බැංකුවේ කීර්තිනාමයට අගතියක් සිදුවන බවත් ඒ තුළින් බැංකුවේ ව්‍යාපාරික කටයුතුවලට අගතියක් සිදුවන බවත් පෙන්වා දෙමු.
 
ඒ අනුව මින් ඉදිරියට සණස බැංකු ඇතුළු සණස ව්‍යාපාරය තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතා මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේ දී සණස ව්‍යාපාරය හා සණස සංවර්ධන බැංකුව අතර පවතින වෙනස අවබෝධකර ගනිමින් නිවැරදි මාධ්‍ය වාර්තාකරණයක් සිදුකරන ලෙස සියලුම මාධ්‍ය ආයතනවලින් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.
 
මෙම ආයතන දෙකෙහි වෙනස තවදුරටත් අවබෝධකර ගැනීමේ ගැටලුවක් මාධ්‍ය ආයතන වෙත ඇත්නම් යම් සිදුවීමක් සිදුවී ඇති මොහොතක එම සිදුවීම මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමට ප්‍රථම සණස සංවර්ධන බැංකුව සමග හෝ අප සංගමය සමග සාකච්ඡාකර එම ගැටලුව නිවැරදිකර ගනිමින් මාධ්‍ය වාර්තාකරණය සිදුකරන ලෙස ද ඉතාමත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු."