ශක්තික කුමාරගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට පොලීසියේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නවත්වන්න

ශක්තික කුමාරගේ නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට පොලීසියේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නවත්වන්න

ලේඛක ශක්තික සත්කුමාර නඩු තීන්දුව පූර්වාදර්ශයක් කොට ගෙන, පොලීසියේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් වළක්වන වන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ශක්තික සත්කුමාර නම් නිර්මාණශීලී ලේඛකයා අත්අඩංගුවට ගෙන පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කළ අදාල අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එය පූර්වාදර්ශයක් කොට ගෙන සමාජ මාධ්‍ය හා වෙනත් ආකාරයෙන් නිර්මාණ හා අදහස් පළ කරන්නන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පොලීසියට උපදෙස් දෙන ලෙස පොලිස්පතිවරයා වන ඔබතුමාගෙන් ඉල්ලා සිටී.

ශක්තික සත්කුමාර පොල්ගහවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබුවේ 2019 අප්‍රේල් 01 වැනිදාය. ඔහුට ඇප ලබා ගත හැකි වූයේ 2019 අගෝස්තු මස 08 වැනිදාය. පොල්ගහවෙල පොලීසියේ අවිචාරවත් ක්‍රියාකලාපය නිසා ඔහුට දින 130ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නට සිදු විය. මාස දහයක කාලයක් රැකියා විරහිතව සිටින්නට සිදු විය. නඩු නිමිත්තක් නොමැති බවට නීතිපතිවරයා විසින් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීම අනුව 2021 පෙබරවාරි මස 09 වැනිදා ශක්තික සත්කුමාරගේ නඩු කටයුතු අවසන් කොට ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත. මෙතරම් අයුක්තියක් ඔහුට සිදු වී ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ පළ කළ කෙටිකතාවකට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය අත්තනෝමතික ලෙස ක්‍රියා කර ඇති නිසාය.

කලා හා සාහිත්‍ය කෘතින්, ලේඛක ලේඛිකාවන් මෙන්ම නිදහස් මතධාරින් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු විට නිසි අධ්‍යයනයකින් කටයුතු කළ යුතු බවත් එසේ නොකර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීම දිගින් දිගටම සිදුවන ආකාරයත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සත්තික සත්කුමාර අත්අඩංගුවට ගත් අවස්ථාවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. මේ වන විටත් සිදු වන්නේ එම අවිචාරවත් ක්‍රියාදාමයයි.

සමාජ මාධ්‍යයක නොසැලකිලිමත් පළ කිරීමක් සිදු වී එම වැරැද්දට සමාව ගන්නේනම් ඒ අයට අවවාද කිරීමකින් එම ගැටලුව විසඳාගත හැකිය. සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියා කළ හැකි අවස්ථා තිබිය හැකිය. මෙවැනි අවස්ථාවකදී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2019 අගෝස්තු මස පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇති, 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියෙහි 3 වන වගන්තියෙහි අන්තර්ගතය පිළිබද නීතිමය විශ්ලේශනය සහ ඒ හා සමගාමී නිර්දේශයන් පිළිපදින ලෙසට පොලීසිය දැනුවත් කිරීම ඉතා වැදගත්ය. මේ වන විටත් එම පනත යටතේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් ගැන ඉහත කී මඟපෙන්වීම් ඔස්සේ යළි සමාලෝචනයක් කරන ලෙසද, ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට ප්‍රථමයෙන් වඩා විචාරශීලීව කටයුතු කිරීම සඳහා පොලීසියට නිසි මඟ පෙන්වීම් කරන ලෙස පොලිස්පතිවරයා වන ඔබතුමාගෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කාරුණිකව ඉල්ලා සිටී.