ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතට සිවු වසරක් සපිරේ

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනතට සිවු වසරක් සපිරේ

2021 පෙබරවාරි 03 දිනට තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කර වසර හතරක් සම්පූර්ණ විය. පුරවැසියන් අතට ප්‍රගතිශීලී බලයක් ලබා දෙමින් වසර හතරක් මුළුල්ලේ තොරතුරු දැනගැනීමේ පනත සාර්ථකව ක්‍රියාත්මක වී ඇත. තමන්ට අවශ්‍ය කරන තොරතුරු වල නිරවද්‍යභාවය තහවුරු කර ගනිමින් එම තොරතුරු වලට ප්‍රවේශ වීමේ ඉඩ ප්‍රස්තාව හිමි කර ගත් දහස් සංඛ්‍යාත පුරවැසියන් පිරිසක් මේ වන විට සිය ජීවිත වල විශාල වෙනසක් ලඟා කරගෙන ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනතේ පිහිටෙනි. තනි පුද්ගලයෙකුගේ ඉඩම්, නිවාස හෝ විශ්‍රාම වැටුප් සම්බන්ධව මෙන්ම සමස්ථ ප්‍රජාවකගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනික අවශ්‍යතා සහ අයිතිවාසිකම් දක්වා ඉතා පුළුල් පරාසයක විහිදෙන විවිධ මට්ටම්වල තොරතුරු වලට ප්‍රවේශ වීමේ හැකියාව පුරවැසියන්ට හිමි කර දෙන්නට තොරතුරු දැනගැනීමේ පනත සමත් වී ඇත.

2017 පෙබරවාරි මස තුන් වනදා සිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය එහි කොළඹ ප්‍රධාන කාර්යාලය, මාතර හා වවුනියා හි ඇති ශාඛා කාර්යාල හරහාද, එසේම හවුල්කාර සංවිධාන සමඟ අම්පාර, අනුරාධපුරය, යාපනය, නුවරඑළිය සහ ත්‍රිකුණාමලයේ පිහිටුවා ඇති RTI කේන්ද්‍රස්ථාන හරහාද මහජනතාව වෙනුවෙන් තොරතුරු ඉල්ලුම්පත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් වෙනුවෙන් අත්වැල් සපයා ඇත.

2020 වසරේ දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් තිරසාර සංවර්ධන අරමුණු දර්ශක අංක 16.10.2(තොරතුරු සඳහා මහජන ප්‍රවේශය) අධීක්ෂණය සහ වාර්තා කිරීමසඳහා පළ කරන ලද වාර්තාවට අනුව 2017-2019 කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ වැඩිම තොරතුරු ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී ඇත්තේ (1,475) “සාධාරණ, සාමකාමී, සියලු සමාජීය කණ්ඩායම් නියෝජනය වන්නා වූ පාලනය සහ ආයතනික විනිවිදභාවය” යන කාණ්ඩය යටතේය. එසේම “රැකියාව / ශ්‍රමික අයිතිවාසිකම් සහ සුභසාධන ප්‍රතිලාභ ” සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම්පත් 1,199ක් ද “යටිතල පහසුකම් සහ ඉදිකිරීම්” සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුම්පත් 851ද ලැබී තිබුණි.

රටේ පාලන ක්‍රියාවලිය සහ රාජ්‍ය සේවයේ විනිවිදභාවය මෙන්ම සිය අයිතිවාසිකම් පිළිබඳව පුරවැසියන් මෙම පනත හරහා ඍජුවම ඉතා සාධනීය ප්‍රවේශයක් ලබා ගෙන ඇති අයුරු මේ දත්ත වලින් පැහැදිලි වේ. එම වාර්තාවේ තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු කොමිසම විසින්, ඔවුන් ලැබූ අභියාචනා වලින් 85%කදීම, ඉල්ලුම්කරු වෙත තොරතුරු ලබා දෙන මෙන් නියෝග කර ඇති බවයි. මේ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ පනතේ ක්‍රියාත්මක වීමේ සාධනීය බව සහ කොමිසමේ ක්‍රියාකාරිත්වයේ වැදගත්කම පිළිබඳ පැහැදිලි අදහසක් ලබා දෙයි.

(වාර්තාව මෙතනින් කියවන්න - https://ifap.ru/pr/2020/n201207b.pdf)

මේ අතරතුර TISL වැනි විවිධ සිවිල් සමාජ සංවිධාන පවා තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරමින් අයවැයෙන් වෙන් කෙරෙන මුල්‍යමය ප්‍රතිපාදන සම්බන්ධව මෙන්ම වඩා සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටීම වැනි පොදු ජනතාවගේ සුබසිද්ධිය සඳහා වන තොරතුරු ඉල්ලීම් කර ඇත.

මෙසේ තොරතුරු බලය පුරවැසියන් විසින් ඉතා ප්‍රගතිශීලී අන්දමින් භාවිතා කරන අතරම එම පනතට සිව්වසරක් සපිරෙන මේ අවස්ථාවේ විශේෂයෙන්ම නිවැරදි, සත්‍යාපනය කර ගත් පුවත් සහ තොරතුරු වාර්තාකරණයක් උදෙසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අවකාශය තුල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කිරීමේ වැදගත්කම TISL ආයතනය විසින් නැවත අවධාරණය කරයි. දුෂණයට එරෙහි සටනට දායකත්වය ලබා දෙමින් නිවැරදි තොරතුරු වලට ප්‍රවේශය ලබා ගෙන එම තොරතුරු පුරවැසියන්ට ප්‍රකාශ කිරීමේ/ ලබා දීමේ නිදහස සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් මාධ්‍යවේදීන්ට තොරතුරු දැනගැනීමේ පනත කදිම මෙවලමකි.

තොරතුරු දැනගැනීමේ පනත යනු පුරවැසියන්ගේ සහභාගීත්වය සහ ඉල්ලුම නොමැතිව ක්‍රියාත්මක නොවන නීතියකි. එය ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වන්නේ පුරවැසියන්ටයි. එම නිසා පුරවැසියන් බලාත්මක කිරීම මෙන්ම රජයේ ආයතන සහ නිලධාරීන්ගේ වගවීම සහ විනිවිදභාවය තහවුරු කර ගැනීමට මෙම පනත භාවිතා කිරීමේ වගකීම සහ යුතුකම මාධ්‍යවේදීන් ද සතුවේ. කෙසේ වුවත් මේ වන විටත් අපේ රටේ ඇතැම් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සිය මාධ්‍ය වාර්තාකරණය සඳහා RTI ප්‍රධාන මෙවලමක් ලෙස භාවිතා කරනු දැකීම දිරිගන්වනසුළු කාරණයකි. නමුත් ජන මාධ්‍යවේදීන් අතර තොරතුරු අයිතිය භාවිතය තව දුරටත් වර්ධනය විය යුතු අතරම ඒ සඳහා අවැසි ඉඩකඩ සහ පසුබිම මේ වන විටත් සැකසී හමාරයි.

පුරවැසියන්ට තව දුරටත් සමීප වෙමින් තොරතුරු දැනගැනීමේ පනත හරහා බිම් මට්ටමේ ඇති ගැටළු වලට අදාළ තොරතුරු සහ පිළියම් ලබා දීම අරමුණු කරගෙන TISL ආයතනය 2021 වසරේදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි RTI කේන්ද්‍රස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇත. මෙහිදී RTI කේන්ද්‍රස්ථාන පිහිටුවීම මෙන්ම තොරතුරු අයිතිය භාවිතා කරමින් ගවේෂණාත්මක ජනමාධ්‍ය වාර්තාකරණයක් සිදු කිරීමටත් ඒ තුළින් නිවැරදි, අත්‍යවශ්‍ය සහ ප්‍රයෝජනවත් තොරතුරු වලට ප්‍රවේශය ලබා ගැනීමටත් එම තොරතුරු බෙදා හැරීමටත් ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ ධාරිතා වර්ධනය කිරීම වෙනුවෙන් යුරෝපා සංගමය සමඟ සම්බන්ධව වසර තුනක ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට TISL ආයතනය දැඩි අපේක්ෂාවෙන් පසු වෙයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ යුරෝපා පදනමේ තානාපති ඩෙනිස් චායිබි මහතා ප්‍රකාශ කලේ, "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උදෙසාත්, මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය ඉටු කිරීම උදෙසාත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කිරීම මෙන්ම තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසාත් ජනතාවට තොරතුරු වලට ප්‍රවේශ වීමට ඇති හැකියාව අත්‍යවශ්‍ය වේ. 2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත සියලුම අංශ වල මට්ටම් වල විනිවිද භාවය වැඩිදියුණු කිරීම කෙරෙහි විශාල ධනාත්මක බලපෑමක් ඇති කරමින් සිටී. මේ නිසා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සමඟ කෙරෙන මෙම සහයෝගීතාවය තුළින් සියළුම ශ්‍රී ලාංකිකයින්ට ප්‍රතිලාභ ලබා දීමටත් උසස් තත්ත්වයේ මාධ්‍ය වාර්තාකරණයක් උදෙසා සහයෝගය ලබා දීමටත් යුරෝපා පදනම බලාපොරොත්තුවෙන් පසුවන බවයි "