විදුහල්පති තනතුර දේශපාලනීකරණය වීමෙන් අධ්‍යාපනය හෑල්ලුවට ලක්වෙලා

විදුහල්පති තනතුර දේශපාලනීකරණය වීමෙන් අධ්‍යාපනය හෑල්ලුවට ලක්වෙලා
කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාගෙන් එම පාසලෙන් ස්ව කැමැත්තෙන් ඉවත් වන බවට අධ්‍යාපන ලේකම්වරයා විසින් ලිපියක් ලබාගෙන ඇත. පසුව බී.ඒ. අබේරත්න මහතා විසින් ලබාදුන් එම ඉවත්වන බවට වූ ලිපිය ඔහු විසින් ම නැවත ඉල්ලා අස්කරගෙන ඇත. එසේ තිබියදී බී.ඒ. අබේරත්න මහතා මේ වන විට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට ස්ථාන මාරු ලිපියක් නිකුත් කර ඇත. මෙය බරපතල දේශපාලන මැදිහත්වීමක් තුළ සිදු කරන ලද අනීතික ක්‍රියාවකි. 
 
බී.ඒ. අබේරත්න මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ම මැදිහත්වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන නීතීඥ සාගර කාරියවසම් මහතාය. එම අවස්ථාවේදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක පෙනී සිටිමින් සාගර කාරියවසම් මහතාගේ එම මැදිහත්වීම විවේචනය කරමින් අබේරත්න මහතා රදවා ගැනීම වෙනුවෙන් ප්‍රබල ලෙස පෙනී සිටියේය. ළමුන් 8000 ක වැඩි ලංකාවේ ජනප්‍රියතම පාසලක විදුහල්පතිවරයෙකුගේ ඉවත් කිරීමක් හා රදවා ගැනීමක් සඳහා මෙලෙස දේශපාලන මැදිහත්වීම් සිදුවීම අධ්‍යාපනයේ බරපතල පරිහානියකි. ප්‍රධාන පාසල්වල මේ ආකාරයෙන් කටයුතු වන්නේ නම් පළාත් සභා පාසල්වල තත්වය මෙයින් පැහැදිලි වනු ඇත. විදුහල්පතිවරයාට චෝදනා ඇත්නම් සිදුවිය යුත්තේ විධිමත් පරීක්ෂණයක් කොට ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමයි. එසේ නොකොට අධ්‍යාපන ලේකම්වරයා විසින් මේ ආකාරයේ බලපෑම් කරමින් විදුහල්පතිවරයාගේ කැමැත්ත ලබාගෙන විදුහල්පතිවරු මාරු කිරීමට උත්සාහ කිරීම නිර්ලජ්ජිතව දේශපාලන උවමනාවක් ඉටු කිරීමකි. ලංකා ගුරු සංගමය රාජ්‍ය සේවා කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරීන් ස්ථාන මාරු කිරීමේදී මෙවැනි මැදිහත්වීම් සිදුවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට වහාම එම ක්‍රියාව නතර කිරීමට මැදිහත් වන ලෙසයි. 
 
ඉහත පසුබිම තුළ මේ වන විට සමාජයේ බරපතල කතිකාවකට ලක්ව ඇති හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දේශපාලන පලිගැනීම් කමිටුවෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පති තනතුර සම්බන්ධයෙන් පිළිකුල් සහගත නිර්දේශයක් ලබා දී තිබේ. මේ වන විට ප්‍රසිද්ධ කොට නැති එම පලිගැනීම් කමිටු වාර්තාවේ අඩංගු පක්ෂග්‍රාහී නිර්දේශ මාධ්‍යවල එළි දැක්වෙමින් තිබේ. එවැනි නිර්දේශයක් වන්නේ රාජකීය විදුහලේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතා වයස අවුරුදු 55 න් විශ්‍රාම ගොස් ඇත්තේ දේශපාලන පලිගැනීමක් සිදු වූ නිසා බැවින් ඔහු නැවත සේවයේ පිහිටුවා වසර 3 කට රාජකීය විදුහලේ විදුහල්පති තනතුර ලබාදිය යුතු බවයි. විශ්‍රාම ගිය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් විදුහල්පති තනතුරක් ලබාදීමට නිර්දේශ කිරීම බරපතල විහිළුවකි. උපාලි ගුණසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුවෙමින් තිබියදී ඔහු විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වගන්තියට අනුව විශ්‍රාම යාමෙන් පසු ‘ඡදකහප්එය. නමැති පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටී. පසුගිය මැතිවරණවලදී විවිධ සංවිධාන ගොඩනංවමින් දේශපාලන කටයුතුවල ද නිරත වෙමින් සිටියේය. එවැනි පසුබිමක ඔහු නැවත රාජකීය විද්‍යාලයේ විදුහල්පති තනතුරට නිර්දේශ කිරීමත්, වර්තමාන විදුහල්පතිවරයා අවිධිමත්ව ඉවත් කිරීමට කුමන්ත්‍රණ සිදුවීමත් අතර අන්තර් සම්බන්ධයක් පවතින බවට සැකයක් පවතී. 
 
ඉහත තත්වය අනුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති තනතුර දේශපාලනීකරණය වීම තුළ රටේ අධ්‍යාපනය  බරපතල ලෙස හෑල්ලුවට ලක්වීම නොවැළැක්විය හැක. 
 
මෙයට,
 
ජෝසප් ස්ටාලින්

ප්‍රධාන ලේකම් (ලංකා ගුරු සංගමය)