එන්න අපි ලෝකය තැඹිලි පාට කරමු

එන්න අපි ලෝකය තැඹිලි පාට කරමු

16 Days of Activism හෙවත් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වු හිංසනයට එරෙහි ක‍්‍රියාකාරී දින 16 යනු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අභියෝගයට ලක් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයකි. සෑම වසරකම නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 වන දින මානව හිමිකම් දිනය දක්වාම මෙම ව්‍යාපාරය ක‍්‍රියාත්මක වන අතර මෙවර එහි තේමාව වන්නේ ‘කාන්තාවන්ට එරෙහි වැඩපලෙහි හිංසනය වළක්වමු’ යන්නයි.  1991 සිට මේ දක්වා රටවල් 187 ක සංවිධාන 6000 කට වැඩි සංඛ්‍යාවක් මෙම ව්‍යාපාරයට සහභාගි වී කාන්තාවන්, ගැහැණු දරුවන් සහ සංක‍්‍රාන්තික ලිංගිකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ව බලගැන්වීමට කටයුතු කරමින් සිටිති. පසුගිය නොවැම්බර් 25 වන දින කාන්තාවන් වෙනුවෙන් වන එම ව්‍යාපාරය ආරම්භ වද්දීම ස්කෝට්ලන්තය විසින් කාන්තාවන්ගේ ආර්තවය සාමාන්‍ය සංසිද්ධියක් බව සලකමින් සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබා දීමට තීරණය කරමින් ඇයගේ අයිතීන් ඇයට සුරක්ෂිත කර ලබා දී තිබෙන්නේය. ස්කොට්ලන්තයේ එසේ වද්දී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්ය.

කුඩා කල නිවසේදී ලගම පිරිමි ඥාතීන්ගෙන් ගැහැණු දරුවන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන හිංසනය, විවාහ ජීවිතය තුළ ගෘහස්ථ හිංසනය, රැුකියාවක නිරත වෙමින් ගෙදරදොරේ වැඩ, දරුවන්ගේ වැඩ සමග පීඩනයට පත්වීමෙන් ලැබෙන හිංසනය, මාසිකව සිදුවන ආර්තවය වෙනුවෙන් මිලදී ගන්නා සනීපාරක්ෂක තුවායට ගසා ඇති බද්දෙන් එල්ල වී ඇති හිංසනය, මාතෘ නිවාඩුව නිසි පරිදි නොලැබීම තුළ මව්වරුන් විදින හිංසනය, රැුකියාවට යන අතරමග මහපාරේ, බසයේ විදින්නට වෙන ලිංගික අඩන්තේට්ටම්, රැුකියා ස්ථානයේදී විවිධ ආකාරයෙන් එල්ල වන වාචික, කායික සහ මානසික හිංසනය ආදී සියලූ ආකාරයේ හිංසනයන් වලට ලංකාවේ කාන්තාවන්ට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදු වී තිබේ.

දැන් එය තවදුරටත් ප‍්‍රසාරණය වෙමින් රැකියා ස්ථානයේ කාන්තාවන්ට ප‍්‍රසිද්ධියේ පහර දෙන තරමට වර්ධනය වී සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින්නේය. ඒ ප‍්‍රසිද්ධියට පත්වන දේවල් පමණි. කුප‍්‍රකටව ඇයට සිදුවන අතවරයන්, හිංසනයන් අපමණය. ඒ සියල්ල විඳදරාගෙන සිටින කාන්තාවන්, ගැහැණු දරුවන් හා සංක‍්‍රාන්තික ලිංගිකයින් අපමණය. එසේ සිදු වන්නේ නීතිය ගැන නොදැනීම හෝ අයිතිවාසිකම් පිළිබද උනන්දු නොවීම නිසා කියා අතපිසදා ගැනීමට පෙර ලංකාවේ සමාජය කාන්තාව දෙස බලන කෝණය හා කාන්තාවට ලබා දී තිබෙන සමාජ වටිනාකම පිළිබඳව අවධානය යොමු කරවීම වටින්නේය.

නිවසෙන් පටන් ගෙන, ම`ගතොට, සේවා ස්ථානයේ, පාසලේ එකී නොකී සෑම තැනකදීම මානසිකව සහ කායිකව පීඩනයට, හිංසනයට සහ සූරාකෑමට ලක්වන ඇය වෙනුවෙන් ‘තැඹිලි පාටයක් ලෝකයක්’ තනා දීම වෙනුවෙන් ඔවුන්ට නිසි ගෞරවය ලබා දී, ඔවුන්ගේ අයිතීන් රකිමින්, ඔවුන්ට සුරක්ෂිත ලෝකයක් තනාදීම ඔබේත් මගෙත් අපි හැමගේත් වගකීමකි. 16 Days of Activism සමඟ වර්ණවත් වන මෙවර ඒ තැඹිලි පාට ලෝකය ගොඩනැගීම වෙනුවෙනි.

රුවිනි අයේෂා බියගම