සංවර්ධන නිලධාරීන් ජාතික විරෝධතා දිනයකට සැරසේ

සංවර්ධන නිලධාරීන් ජාතික විරෝධතා දිනයකට සැරසේ

රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂයකට අධික MN-04 (ආශ්‍රිත සේවය) ට අයත් සංවර්ධන නිලධාරීන් ඇතුළු උපාධිධාරීන්ගේ වෘත්තීය ගැටළු ගණනාවකට විසුඳුම් ලබාදෙන ලෙස බල කරමින් 2021 මාර්තු 04 දින ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කිරීමටත්, එදිනට අත්සන් ලක්ෂයේ පෙත්සම භාරදීම හා දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටත් සංවර්ධන නිලධාරී සේවා සංගමය තීරණය කර ඇත.

වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්න ගණනාවකට මේ දක්වා විසඳුම් ලබා නොදීම හා අදාළ ප්‍රශ්න බලධාරීන් හා දේශපාලන අධිකාරිය නොසලකා හැරීම මේ ආකාරයේ ක්‍රියා මාර්ගයක් ගැනීමට හේතු වූ බව සංවර්ධන නිලධාරි සේවා සංගමය සඳහන් කරයි.

  • තනතුරු උසස්වීම් පටිපාටියක් නිර්මාණය කිරීම.
  • 06/2006 වැටුප් චක්‍රලේඛනයෙන් ඇතිකළ වැටුප් හා වැටුප් වර්ධක විෂමතාවයට විසඳුම් ලබාදීම.
  • උපාධියට සුදුසුවන පරිදි සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාවේ සඳහන් නිසි රාජකාරී පැවරීමේ ක්‍රමවේදයක් සැකසීම.
  • කප්පාදුවකින් තොරව තීරුබදු රහිත යතුරුපැදි හිමිකම රාජ්‍ය සේවා / පළාත් රාජ්‍ය සේවා MN-04 ක්ෂේත්‍රගත / කාර්යාලගත සියලූම නිලධාරීන්ට ලබාදීම.
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රදේශීය ලේකම්වරයා වෙත වෙන්වෙන පරිපාලන වියදමින් 30% අගයක් රාජකාරී වගකීම වෙනුවෙන් ව්‍යාපෘතිභාර සංවර්ධන නිලධාරීන්ට ලබාදීම.
  • අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ මාසික දීමනාව රු. 25 000/- දක්වා ඉහළ දැමීම.
  • අභ්‍යාසලාභී පුහුණුව මාස 06 කට සීමාකර සියලූ අභ්‍යාසලාභීන් කඩිනමින් ස්ථීර කිරීම.
  • අභ්‍යාසලාභී පුහුණු කාලයේදී ලබා දිය යුතු ප්‍රසූත නිවාඩු දින 84 ම කප්පාදුවකින් තොරව වහාම ලබාදීම.
  • අභ්‍යාසලාභීන් ස්ථීර කිරීමේ දී අහිමි කරන පුහුණු කාල සීමාව ස්ථීර සේවා කාලයට එකතු කිරීම.

ඇතුළු ඉල්ලීම් 25ක් මේ වන විට ආණ්ඩුව ඇතුළු අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති අතර සාධාරණ කාල සීමාවක් තුළ එම ඉල්ලීම් සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් අපි බලාපොරොත්තු වන බව සඳහන් කරයි

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මාර්තු 20 වන විට විසඳුමක් නොලැබෙන්නේ නම් අදාළ ගැටළුවලට විසඳුම් ලබා දෙන තෙක් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගැනීමට ද සංවර්ධන නිලධාරී සේවා සංගමය ලෙස තීරණය කර ඇති බව මෙයින් වැඩි දුරටත් සඳහන් කරන බව සංවර්ධන සේවා සංගමය පවසයි.